Tuesday, April 23, 2024

General line - 0115112241

කොරෝනා එන්නත් ලබා නොගත් ජර්මානුවන්ට සීමා




ජර්මනියේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට එරෙහිව දැඩි සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය යළි ඉහළ යාම හමුවේ ජර්මනිය අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් මෙලෙස නව සීමා පැනවීමට තීරණය කළ බවයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් පැවසුවේ. 

ඒ අනුව මෙතෙක් කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් ජර්මානුවන්ට අත්‍යවශ්‍ය නොවන වෙලඳසැල්වලට ඇතුළුවීම, ආපනශාලාවලට ඇතුළුවීම හා විනෝද ස්ථානවලට ඇතුළුවීම තහනම් වනු ඇති. එමෙන්ම පාසැල්තුලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යය කිරීම, පෞද්ගලික රැස්වීම් සඳහා නව සීමා පැනවීම මෙන්ම මෙම වසර අවසන් වනවිට මිලියන 30 ක් පමණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම ජර්මානු රජයේ අරමුණයි. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග යළිත් අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටින යුරෝපා රටවල් අතරින් ජර්මනිය ද ඉදිරි පෙළෙහි පසුවනවා. එරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ද යළි ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 තුළ දී පමණක් ජර්මනියෙන් ආසාදිතයින් 73,200 ක් හඳුනා ගෙන තිබෙනවා. මේවනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද ජර්මනියට ඇතුළු වී ඇති අතර එරටින් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 04 ක්.