Friday, March 29, 2024

General line - 0115112241

එන්නත් නොදී සීමා පමණක් පැනවූ බවට අප්‍රිකාවෙන්, ධනවත් රටවලට චෝදනා




ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ලොව ධනවත් රටවල් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් අප්‍රිකානු කලාපයේ රටවල් යළිත් වරක් චෝදනා එල්ල කරනවා. 

අප්‍රිකානු කලාපීය රටවල් පවසන්නේ කොවිඩ් වසංගතය පිටුදැකීම සඳහා එන්නත් ලබාදීම වෙනුවට ධනවත් රටවල් විසින් එම කලාපය හුදෙකලා භාවයට පත් කර දොර වසා දමා ඇති බවයි. මෙවැනි වසංගත තත්ත්වයකදි සිදුකළ යුත්තේ විද්‍යාත්මක පදනම මත ඉදිරි පියවර ගැනීම මිස රටවල්වලට දඬුවම් ලබාදීම නොවන බව ද අප්‍රිකානු කලාපීය රටවල් පෙන්වා දෙන්වා. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ලෝක බලවතුන් සහ ධනවතුන් ආත්මාර්ථකාමී අයුරින් කටයුතු කරමින් සිටින බවටයි අප්‍රිකානු රටවල් චෝදනා නැගුවේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අප්‍රිකානු කලාපයට සැපයෙන එන්නත් මාත්‍රා ප්‍රමාණවත් නොවන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. 

විදෙස් වාර්තාවන්ට අනුව අප්‍රිකානු රටවල් 54 න් රටවල් අඩක ප්‍රමාණයක් පමණ මේවනවිටත් කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්කර ඇත්තේ සිය ජනගහනයෙන් සියයට 10 කටත් වඩා අඩු ප්‍රතිශතයක්. 

මේ අතර දකුණු අප්‍රිකාවට පසුව ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන අප්‍රිකානු රට බවට නයිජීරියාව පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයින් වාර්තා වීමත් සමග නයිජීරියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවයි.