Tuesday, March 19, 2024

General line - 0115112241

කොන්දේසිවලට යටත්ව ගෑස් සැපයීමට නොහැකි බව ගෑස් සමාගම් කියයි




පාරිභෝගික අධිකාරිය විසින් ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්ව වෙළඳපලට ගෑස් නිකුත් කළ නොහැකි බව ගෑස් සමාගම් පවසනවා. 

කොන්දේසි 03 කට යටත්ව අද සිට වෙළඳපලට ගෑස් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා. 

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම එහි එක් කොන්දේසියක්. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ, සුවද හදුනා ගැනීම සඳහා “මර්කප්ටන්” අඩංගු කිරීම තාක්ෂණික කමිටුවේ තවත් කොන්දේසියක් වනවා. නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියයකින් එකක් පරීක්ෂා කර සිීරියල් අංකය පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම තවත් කොන්දේසියක්. 

කෙසේවෙතත් මෙම කොන්දේසි වලට යටත්ව වෙළඳපලට ගෑස් නිකුත් කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් ඒ එච් වෑගපිටිය ප්‍රකාශ කළා. 

දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළඳපලට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගත්තා. වෙළඳපලට ගෑස් නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.