Friday, April 19, 2024

General line - 0115112241

මොකක්ද මේ විදුලි පේනු (ප්ලග්) සහ කෙවෙනි (සොකට්) සඳහා ලංකාවේ තිබෙන අළුත් නීතිය ?




2003,අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය " පනත යටතේ 2017 දෙසැම්බර් 07 වැනි දින නිකුත් කරන ලද අංක 2048/39 දරන ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS ලාංඡනය) නොමැති විදුලි පේනු (ප්ලග්) ,කෙවෙනි (සොකට්) ,විදුලි දිගු (Extension Cords) සහ තනි පරිවර්තක ඇඩැප්ටර ශ්‍රී ලංකාවේ වෙළඳපොල තුල විකිණීම 2019 ජනවාරි මස 1 වැනි දා සිට තහනම් කර තිබෙනවා.

ඒ අනුව දැනට වෙළඳපොලේ විකිනීමට හැකි වන්නේ ,හතරැස් කූරු ඇති 13A ප්ලග්ස හිත විදුලි උපකරණ, හතරැස් සිදුරු සහිත 13A සොකට්, හතරැස් කූරු ඇති ප්ලග් හා හතරැස් සිදුරු ඇති සොකට් තිබෙන විදුලි දිගු සහ 5A -13A හා 13A - 5A තනි පරිවර්තක ඇඩැප්ටර පමණයි. එමෙන්ම මෙම සොකට්,විදුලි දිගු සහ ඇඩැප්ටර වලට SLS සහතිකය තිබීමත් අනිවාර්යයි.

ඊට අමතරව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2017 අගෝස්තු මස 15 වැනි දින නිකුත් කරන ලද අංක 2032/10 දරන ගැසට් නිවේදනයට අනුව ඉහත සඳහන් ප්‍රමිතියට අනුකුල නොවන විදුලි උපාංග ආනයනයද තහනම් කර තිබෙනවා.

මෙවැනි නීතියක් ශ්‍රී ලංකාව තුල පනවන්න හේතුව කාරණය කුමක්ද ? මෙහි ප්‍රධාන අරමුණ වුයේ , විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව හා ආරක්ෂාව තහවුරු කිරීමයි . 

එය තව දුරටත් පැහැදිලි කළහොත්, 2016 වසරේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය එක්ව සිදුකල වෙළදපොළ අධ්‍යයනයකදී වෙලදපොලේ පැවති විදුලි උපකරණ වල විවිධ ආකාරයේ ප්ලග් වර්ග 15ක් පමණ තිබෙන බව සොයාගැනීමට ලැබුනා. මෙවැනි විදුලි උපකරණ මිලදී ගෙන නිවසට රැගෙන ගියාටත් පසුව තමයි බොහෝ පාරිභෝගිකයන් මෙම උපකරණ වල විවිධ ආකාරයේ හා විවිධ හැඩයේ කූරු තිබෙන ප්ලග් ඇති බව දකින්නේ. 

නමුත් බොහෝ නිවෙස්වල බිත්තිවල තිබෙන්නේ 5A ,13A හා 15A සොකට් පමණක් නිසා මෙම මෙවැනි විවිධ ආකාරයේ ප්ලග් විදුලියට සම්බන්ධ කරගැනීමට යාමේදී ඇතිවන නොගැලපීම නිසා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්වෙනවා.

එවැනි අවස්ථාවල දී මෙම උපකරණ විදුලියට සම්බන්ධ කර ගැනීමට බොහෝ දෙනා අනාරක්ෂිත හා ප්‍රමිතියෙන් තොර මල්ටිප්ලග් සහ විදුලි දිගු භාවිතයට හුරුවී සිටියා.

මෙවැනි අනාරක්ෂිත හා ප්‍රමිතියෙන් තොර මල්ටිප්ලග් සහ විදුලි දිගු භාවිතය නිසා බොහෝ අනතුරුද (ජිවිත හා දේපල හානි)වාර්තා වුනා. එබැවින් විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් හඳුන්වා දීමට කටයුතු කළා.ජාතික ප්‍රමිතිය ලෙස 13A ප්ලග් සහ සොකට් ම තෝරාගත්තේ ඇයි ? එයට හේතු කිහිපයක් තිබෙනවා.

1. ශ්‍රී ලංකාව තුල බහුලවම භාවිතා වූ 5A ,13A හා 15A යන සොකට් වර්ග 3හිම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට 13A සොකට් භාවිතා කල හැකි වීම.

2. දැනටමත් එක්සත් රාජධානිය, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව හා මැලේසියාව ඇතුළු ලොව පුරා රටවල් 30කටත් වඩා වැඩි ප්‍රමාණයක එකම ප්‍රමිතිය ලෙස 13A විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කිරීම.

3. රවුම් කූරු සහිත 5A, 15A පේනු වලට වඩා හතරැස් කූරු සහිත 13A පේනුව එහි කෙවෙනිය සමග වඩා හොදින් ස්පර්ෂ වී සම්බන්ධ වීම.

නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් පසුව දැනට නිවෙස් වල භාවිතා කරන පේනු සහ කෙවෙනි (ප්ලග් සහ සොකට්) වෙනස් කළ යුතුද?
දැනට නිවෙස්වල ඇති 5A, 15A ප්ලග් සහ සොකට් වල ආයු කාලය නිමාවන තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. 15A කෙවෙනියක ආයු කාලය අවසන් වුවහොත්, එහි විදුලි පරිපථය 15A අනුව සකස් කර ඇති නිසා, 13A කෙවෙනියක්එ යට සෘජුවම සවිකළ හැකිය.

ඊට අමතරව දැනට වෙළඳපොලේ ඇති බහුවිධ විදුලි කෙවෙනි (මල්ටිප්ලග්) වෙනුවට භාවිතා කිරීම සඳහා ආරක්ෂිත සංවාරක (Shutters) සහිත 13A-5A සහ 5A-13A තනි පරිවර්තක ඇඩැප්ටර වෙළඳපොලට හඳුන්වාදී තිබෙනවා. 

එම නිසා මෙම පරිවර්තක ඇඩැප්ටර භාවිතා කිරීමෙන් අපහසුතාවකින් තොරව හා ආරක්ෂිතව 5A ප්ලග් සහ සොකට් ආයු කාලය නිමාවන තුරු භාවිතා කළ හැකිය.

දැනට 5A සොකට් සඳහා රැහැන් සවි කර ඇති පද්ධති වල 5A සොකට් අබලන් වූ පසු 13A සොකට් සවිකිරීම සදහා රැහැන් පද්ධතිය (wiring system)
වෙනස් කළ යුතුද? නැහැ. මේ සඳහා පිලියමක් ලෙස “6A MAX“ ලෙස සලකුණු කළ, එහෙත් 13A මුහුනත සහිත සොකට් එකක් දැනටමත් වෙළඳපොලට හඳුන්වාදී තිබෙනවා.

5A සොකට් වෙනුවට 13A සොකට් යෙදු විට විදුලි පරිභෝජනයෙහි වෙනසක්සි දුවනවාද?

නැහැ. සොකට් එක 5A වුවද 13A වුවද විදුලි පරිභෝජනය තීරණය වන්නේ භාවිතා කරන විදුලි උපකරණයේ වොට් අගය අනුවයි. ඒ නිසා විදුලි බිලෙහි වැඩිවීමක්කි සිසේත්ම සිදුවන්නේ නෑ 5A – 13A පරිවර්තක ඇඩැප්ටරය 5A – 13A පරිවර්තක ඇඩැප්ටරය

මෙම නව ප්‍රමිතිය හඳුන්වාදීම මඟින් අපේක්ෂිත අරමුණු මේ වනවිට ඉෂ්ඨ වී තිබෙනවා ද?

අද වන විට වෙළඳපොලෙන් මිලදී ගන්නා විදුලි උපකරණ වලින් 99% කම පාහේ 13A හතරැස් කූරු පේනු තිබෙනවා. එවැනි විදුලි උපකරණයක් නිවසට රැගෙන ගොස් භාවිතා කිරීමේදී නිවසේ බිත්තියේ තිබෙන්නේ 13A හතරැස් සිදුරු සහිත සොකට් නම් කිසිදු අපහසුතාවයකින් තොරව එම උපකරණය විදුලියට සම්බන්ධ කොට භාවිතා කරන්න පුළුවන්. එම නිසා මල්ටිප්ලග් වැනි අනාරක්ෂිත උපාංග වල අවශ්‍යතාවයක් ඇතිවන්නේ නෑ. තවද ප්‍රමිතියෙන් තොර මල්ටිප්ලග් හා විදුලිදිගු ද දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.

නීතිය මෙසේ තිබියදීත් අන්තර්ජාලය හරහා ඉහත ප්‍රමිතියට අනුගත නොවන උපාංග තවමත් ඔන්ලයින් ක්‍රමයට අලෙවි වනවා නේද?

අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට වුවද මෙවැනි උපාංග ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්. එබැවින් අප විසින් හඳුනාගත් අන්තර්ජාල වෙළඳසැල්ව ලට එවැනි ප්‍රමිතියෙන් තොර උපාංග අලෙවිය හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වලකින ලෙසට දැනටමත් දැනුම් දී තිබෙනවා.