Wednesday, April 24, 2024

General line - 0115112241

ජලබිල අඩු නොවන හේතුව හෙළි වෙයි




ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලබාදෙන ජල ඒකකයක පිරිවැය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අනවශ්‍යය පරිපාලන වියදම් ඉහළ යාම බව හෙළිවී තිබෙනවා. මේ සඳහා මූලිකවම බලපා ඇත්තේ අලුතින් සේවකයින් බඳවා ගැනීම හා ඔවුන්ගේ වැටුප් ගෙවීම්.

ආයතනයේ අයහපත් මූල්‍ය තත්වයද නොසලකා මාස 06ක පුහුණුවකට අලුතින් සේවකයින් පන්සිය දෙනෙකු බඳවා ගෙන ඇති බවටද හෙලි වී තිබෙනවා. ඒ, මාසිකව රුපියල් විසිදහසක දීමනාවකටද යටත්වයි. එලෙස සිදු කර ඇත්තේ පුවත්පත්වල දැන්වීම් පල කිරීමකින් තොරවයි. මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම බඳවා ගැනීම් සිදු කර තිබුණා. එහෙත් ඊට භාණ්ඩාගාර අනුමැතිය හිමිවී නැහැ. එසේ තිබියදීද මාස 06කින් පසු ඔවුන්ගේ පුහුණු කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පිළිබඳ විමර්ශනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවේ සඳහන් වන්නේ ආයතනයේ පරිපාලන වියදම් අවම කිරීමෙන් ලාභ ලබන මට්ටමට හෝ පාඩු නොලබන මට්ටමට පත්කර ගත හැකි බවයි. විගණකාධිපතිවරයා විසින් මේ පිළිබඳ විශේෂ විගණනයක් සිදු කළ යුතු බවත් බඳවා ගැනීම් වහාම නැවැත්විය යුතු බවටත් කොප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.