Friday, March 29, 2024

General line - 0115112241

ජන ජිවිතයට බාධාවක් නොවනසේ විදුලි අර්බුධයට විසඳුම් සොයන්න : ජනපති




ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුධයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතතා අවධාරණය කර සිටිනවා.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත  විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීන් ප්‍රකාශ කර සිටිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ. 

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කර සිටියේ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ විදුලි කප්පාදුවක් සිදු නොකර කටයුතු කිරීම මේ මොහොතේ අරමුණවී ඇති බවයි.

කෙසේවෙතත් එම සාකච්ඡාවට එක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ අවශ්‍ය වුවහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි අද සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවශ්‍යතාවක් පැන නැඟුනහොත් පමණක් විදුලිය විසන්ධි කරන බවයි.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛණිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් ඉකුත් දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටුණා.