Saturday, April 20, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා අමෙරිකාව අසීරු අඩියක




ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග අමෙරිකාව මේවනවිට අසීරු තත්ත්වයකට මුහුණ පා සිටිනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග තවදුරටත් අමෙරිකාවෙන් දෛනිකව වාර්තාගත ආසාදිතයින් පිරිසක් වාර්තා වෙමින් ඇති බවයි. 

ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් අට ලක්ෂ 6,000 ක් වාර්තා වී තිබුණා. එම කාලය තුලදී අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 969 ක්. 

මේ අතර අමෙරිකාවේ ප්‍රාන්ත 06 ක රෝහල් වෙත හමුදා සෞඛ්‍ය සේවකයින් අනුයුක්ත කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට අදාළ රෝහල්වලට හමුදා සෞඛ්‍ය සේවකයින් යොදවනු ඇති. 

විදෙස් මාධ්‍ය පැවසුවේ දෛනිකව රෝහල්ගත කරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව තෝරා ගැනුණු රෝහල් සදහා හමුදා සෞඛ්‍ය සේවකයින් දහසක් යොමු කෙරෙනු ඇති. 

එලෙස හමුදා සෞඛ්‍ය සේවකයින් අනුයුක්ත කිරීමෙන් අදාළ රෝහල්වල පවතින දුෂ්කර තත්ත්වය මගහැරී යනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.   
අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල රෝහල් මේවනවිට ධාරිතාව සම්පූර්ණ වන අයුරින් රෝගීන්ගෙන් පිරී පවතිනවා. ඇතැම් රෝහල් ධාරිතාවට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

එමෙන්ම අමෙරිකානුවන් සඳහා නොමිලේ මුව ආවරණ ලබාදීමටත්, නොමිලේ සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමටත් ජනාධිපති බයිඩ්න්, නිලධාරීන්ට උපෙදස් ලබාදී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.