Thursday, March 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව යලිත් ජොකෝවික්ගේ වීසා අවලංගු කරයි




ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකෝවික්ගේ වීසා බලපත්‍රය ඕස්ට්‍රේලියානු රජය විසින් අද දෙවන වරටත් අවලංගු කළා. ඒ, එළඹෙන 17 වනදා ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා නොවැක් ජොකෝවික් මේවනවිටත් ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින පසුබිමක් තුළයි. 

පවතින තත්ත්වය අනුව නොවැක් ජොකෝවික් ඕස්ට්‍රේලියන් පිටුවහල් කර වසර 03 ක වීසා තහනමක් පැනවීමට එරට ආගමන විගමන බලධාරීන් කටයුතු කරනු ඇති බවට ද වාර්තා පළ වුණා. කෙසේවෙතත් නොවැක් ජොකෝවික් රටින් පිටුවහල් නොකර සිටීමට ඕස්ට්‍රේලියානු රජය එකග වී ඇති බවයි මේවනවිට වාර්තා වන්නේ. 

මේ අතර නොවැක් ජොකෝවික් ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන නිලධාරීන් හමුවට කැඳවා ඇති අතර ඊට අදාළ නඩු කටයුතු අනිද්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

නොවැක් ජොකෝවික්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වූයේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමේදී වැරදි තොරතුරු ලබාදීමයි. 

ඒ හමුවේ නොවැක් ජොකෝවික්ගේ වීසා අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගත් අතර ජොකෝවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර හිමිවුණේ අධිකරණ තීන්දුවකට අනුවයි. 

අනතුරුව ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් නොවැක් ජොකෝවික් ඉකුත් දා වරද පිළිගනු ලැබුවා. ඉන් අනතුරුවයි ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කිරීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කළේ.