Thursday, April 25, 2024

General line - 0115112241

දේවස්ථානයෙන් සොයාගත් අත්බෝම්බය ගැන 14 ක ගෙන් ප්‍රකාශ ගත් බව පොලිස්පති කියයි




බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැණුනු අත්බෝම්බය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 14 ක් සටහන් කර ගෙන ඇති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා. 

සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්‍ෂණ නිසි ලෙස සිදුව නොමැති බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවේ ඊයේ ප්‍රකාශ කළේ.

එහෙත් පොලිස්පතිවරයා පවසන්නේ විද්‍යාත්මක, තාක්ෂණික, පරිවේෂණ සාක්ෂි සහ පුද්ගල සාක්ෂි ඔස්සේත් අදාළ ක්ෂේත්‍රයන්වල විශේෂඥයින්ගේ සහය ලබාගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදුකරන බවයි.

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී සොයා ගැණුනු අත්බෝම්බයට සම්බන්ධ සැකකරුවන්ද අත්අඩංගුවට ගැණුණේ පුළුල් විමර්ශනයකින් අනතුරුව බවයි පොලිස්පති සී ඩී වික්‍රමරත්න වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ සහ බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ තැබීමේ සිද්ධි පිටුපස මහමොළකරුවෙකු සිටින බවයි  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මාධ්‍ය හමුවේ සදහන් කළේ.