Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ පිල පල්ලේකැලේදී ජය පැන් බොයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. 

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් කළා. නායක ක්‍රෙග් අර්වින් ලකුණු 91 යි. සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා පිල පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගෙන තිබුණා. 

ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 74ට කඩුලු දෙකක් බිද හෙළුවා. 

ලකුණු 303ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 280ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 63ක් තුළ බිද වැටුණු අතර අනතුරු පිටියේ එක් වු කමිදු මෙන්ඩිස් සහ නායක දසුන් ශානක ශතක සබදතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට යළිත් ජයග්‍රායි බලාපොරොත්තුවක් එක්කළා.

සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ කමිදු දැවී ගියේ ලකුණු 57ක් ලබා සිටියදීයි. පීඩනයක් යටතේ පන්දුවට පහර දීම ආරම්භ කළ නායක දසුන් ශානක සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුවද ශතකය වාර්තා කිරීමෙන් පසුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී ගියා.

දසුන් ශානක පන්දු 94කින් ලකුණු 102ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්. අනතුරුව පිටියේ එක් වූ දසුන් ශානක හා චාමික කරුණාරත්න  හය වැනි කඩුල්ල සදහා ලකුණු 66ක සබදතාවක් ගොඩනැගුවා.

 චාමික කරුණාරත්න ලකුණු 34කට දුවද්දී දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිද වැටුණා. තරගයේ වීරයා සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ක්‍රෙග් අර්වින්. දෙරට අතර තීරණාත්මක 3 වන සහ අවසන් එක්දින තරගය 21 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.