Friday, April 19, 2024

General line - 0115112241

ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය ජනවාරි මස 22 හා 23 




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙරට ක්‍රීඩාව නඟා සිටුවීමට ලබාදුන් ප්‍රතිඥාව තවදුරටත් ඉටු කරමින් අඛණ්ඩව තෙවැනි වරටත් 2021 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය සවිබලගන්වන අතර, එම තරගාවලිය ජනවාරි මස 22 හා 23 යන දෙදින මහනුවර, දිගන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර 2021 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියේදී දිවයින පුරා කණ්ඩායම් 34ක් ශූරතාව වෙනුවෙන් තරග බිමට පිවිසෙයි. එහි මූලික තරග වටය ලීග් ආකාරයෙන් පැවැත්වෙන අතර අවසන් තරග වට පිළිමළුන් පිටුදැකීමේ ( knockout) ආකෘතිය යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම තරගාවලිය වන ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියේ  පරමාර්ථය වනුයේ දක්ෂ ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා විනිසුරුවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලයට යොමු කිරීම සඳහා ඉහළ මට්ටමකට පුහුණු කිරීමයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය වන රංජනී ජයකොඩි මහත්මිය අදහස් දක්වමින් “විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රටට හා ආර්ථිකයට බලපෑමක් එල්ල වී ඇති මොහොතක, දේශීය වාර්ෂික දින දර්ශනයේ වැදගත්ම තරගාවලිය වන ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා සහයෝගය ලබාදීම පිළිබඳ ඩයලොග් ආසිආටා සමාගමට මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා.” යනුවෙන් පැවැසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේ පැවසුවාය." ජාතික දැල්පන්දු කණ්ඩායම පසුගිය වසර කිහිපය තුළ උපරිම දක්ෂතා දැක්වූවා. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග රිද්මය මැනවින් පවත්වාගන්නටත්, දක්ෂතාවයන්ගෙන් සපිරි නවක ක්‍රීඩකයන් හඳුනාගැනීමටත් ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවය බෙහෙවින්ම ඉවහල් වෙනවා.”

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම thepapare.com, ViU App සහ ඩයලොග් ටීවී නාලිකා අංක 140 ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

 ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ලේකම් කුමුදිනී ගෝමස් මහත්මිය, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අලෙවි ප්‍රධානී අශානි සේනාරත්න මහත්මිය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනී රංජනී ජයකොඩි මහත්මිය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ භාණ්ඩාගාරික සංජීවනී වනසිංහ මහත්මිය.