Friday, March 29, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් ජාන මංකොල්ලයකට ඉතිහාසයේ වැඩිම දඩ මුදල නියම කෙරේ




හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සිටි සතුන් සහ මෙරටට ආවේණික ශාක කොටස් නීතිවිරෝධීව ලග තබා ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකාර රුසියානු ජාතිකයින් තිදෙනාට අද රුපියල් අසූහය ලක්ෂ 55,000 ක දඩයක් නියම කෙරුණා. 

ඒ, සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර රුසියානු ජාතිකයින් 2020 වසරේ පෙබරවාරි මස 26 වන දා අත්අඩංගුවට ගැනුණා. 

ඒ, හූනන්, කෘමි සතුන්, කටුස්සන්, සමනලුන් සහ සර්පයින් ඇතුළු සත්ත්වයින් 500 කට වැඩි පිරිසක් සහ ආවේණික ශාක කොටස් රැසක් ලග තබා ගෙන සිටියදීයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනාට චෝදනා 102 ක් එල්ල වුණා. 

ඒ අනුව එක් අයෙකුට රුපියල් විසිහය ලක්ෂ 85,000 බැගින් දඩ නියම කිරීමටයි අද නියෝග කෙරුණේ. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වසර 03 බැගින් සිරදඬුවම් නියම කිරීමට ද නියෝග කෙරුණා. 

මෙම වැටලීම සම්බන්ධයෙන් පළමුවරට නෙත් එෆ් එම් බැලුම්ගල හරහා තොරතුරු අනාවරණ කළ අතර නීතිමය කටයුතු සඳහා ද නෙත් එෆ් එම් බැලුම්ගල සිට සහය ලබා දුන්නා. 

මෙම නඩුවේ සැකකරුවන්ට නියම කෙරුණු රුපියල් අසූහය ලක්ෂ 55,000 ක දඩය මෙරට ඉතිහාසයේ සත්ත්ව හා ශාක කොටස් ඇතුළු ජානමංකොල්ලයක් සම්බන්ධයෙන් අධිකරණයකින් නියම කෙරුණු ඉහළම දඩ මුදලයි.     

නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණය කළ  ශ්‍රී ලංකාවේ මෙම විශාලතම ජාන මංකොල්ලය වැටලීම සිදු කළේ ඒවකට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය උද්‍යාන භාරකරු වූ ටී.පී. දයාරත්න මහතා, අඩවි සහකාර පී.එන්.පී .පනාවලගේ,වනසත්ව නියාමක  කේ.ජී.පී. ප්‍රියදර්ශන, ක්ෂේත්‍ර සහයක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්.