Thursday, April 25, 2024

General line - 0115112241

වංචා හෙළි කළ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු නිලධාරියාට තහනම් නියෝගයක් 




පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇති බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය සමයේදී ලංකා සතොසට සම්බන්ධ මහ පරිමාණ සුදුළුණු වංචාව සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් හි ප්‍රමිතිය ප්‍රශ්නයෙන් වන හෙළිදරව් කිරීම් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

මහා පරිමාණ සුදු ළුණු වංචාවට සම්බන්ධ ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද එම හෙළිදරව් කිරීම සමත් වු අතර දිවයින පුරා වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීමට පෙරම ඔහු විසින් ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන්ප්‍රමිතියක් නොමැති වීම නිසි එල්ල විය හැකි තර්ජනය පිළිබඳව ද ඔහු කරුණු අනාවරණය කර සිටියා.

මෙම හෙළිදරව් කිරිම් සිදුකළ හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා පසුගිය ජනවාරි මස 22 වෙනිදා අලුයම අමෙරිකාව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුට රටින් පිටව යෑම තහනම් කර ඇති බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ ඔහුව වැලිසර අධිකරණයේ පවරා ඇති නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවට සිදුකර තිබෙන දැනුම් දීමක් අනුව එලෙස ඔහුට විදේශගත වීමට අවසර ලබාදිය නොහැකි බවට ගුවන් තොටුපොළ නිලධාරීන් සඳහන් කළ බවයි තුෂාන් ගුණවර්ධන සඳහන් කළේ.

තමන් නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවට මේ දක්වා කිසිදු වගකිවයුතු බලධාරීන් විසින් තමන්ට දැනුම් දී සිදුකර නොමැති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මුලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි තුෂාන් ගුණවර්ධන සඳහන් කර සිටියේ.