Friday, April 26, 2024

General line - 0115112241

නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් මිලියන 3300ක් වටිනා මත්කුඩු අත්අඩංගුවට 




ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් රැගත් දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉකුත් ජනවාරි මස 17 සහ 22 යන දිනයන් හිදී සිදුකෙරුණු මෙහෙයුම් වලදී.

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කරමින් මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී ශ්‍රී  ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට කිලෝ මීටර් 1364ක් පමණ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී එම බහුදින යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර 13ක් තුළ පැකට් 309ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික තොගයක් සොයා ගෙන තිබෙනවා.

එහිදී එම දේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. 

එම මුහුදු ප්‍රදේශයේ සමුදුර නෞකාව මඟින් තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය  මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබනවා. 

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු සනාථ වී ඇත්තේ.