Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියවෙන් සෘජුව තෙල් ගන්න විදුලිබල මණ්ඩලයට අවසර




විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සෘජුව මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය හිමිව තිබෙනවා. මෙතෙක් සිදුවූයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමයි. කෙසේවෙතත් වර්තමාන විදුලි අර්බුදය හටගත් අවස්ථාවේ සිට විදුලිබල අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය අතර නිරන්තර කඹ ඇදීමක් සිදුවුණා. 

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ විදුලි උත්පාදනය වෙනුවෙන් මීට පෙර ලබාගත් ඩීසල් සහ දැවිතෙල් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන් ගැටලුවක් මතුව ඇති බවයි. ඉන්ධන ලබාදීමට නම් ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කළා.

විදුලිබල අමාත්‍යංශය මීට පෙර ද ලංකා ෂධක්‍ සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට උත්සහ දැරුවද එය ව්‍යවර්ථ වුණා. නෙත් නිවුස් කළ විමසීමකදී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙටි්‍රක් ටොන් 500 ක් සෘජුව ආනයනය කිරීමට කටයුතු සලස්වා ඇති බවයි.

ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට ඉන්දියාවෙන් ලබා ගන්නා ණය පහසුකමක් යටතේ දැවී තෙල් සහ ඩිසල් සෘජුව ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපගේ පුර්ණ එකඟතාවය ලබා දුන් බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ. 

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 93 ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට ඊයේ උපදෙස් දී තිබුණා.

මේ අතරතුර සපුගස්කන්ද බලාගාරය සඳහා මෙට්ට්‍රික් ටොන් සියයක දැවි තෙල් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඊයේ පස්වරුවේ ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය කපා හරිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. අද දිනයේ සිට පෙබරවාරි 04 වනදා දක්වා අදියර 03 ක් යටතේ පැය දෙකේ සිට පැය නවයක් දක්වා දෛනික විදුලි කප්පාදුවකට අවසර ලබාදෙන ලෙසයි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණේ.