Thursday, April 18, 2024

General line - 0115112241

තෙල් ලැබුණොත් අද විදුලි කප්පාදුවක් නැහැ




අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

ඊයේ පස්වරුව වනවිට සපුගස්කන්ද “බී” බලාගාරයට දැවි තෙල් මෙටි්‍රක් ටොන් 100ක් ලැබී තිබුණද සපුගස්කන්ද “ඒ” බලාගාරයට මෙතෙක් ඉන්ධන ලැබී නැහැ. 

මේ වන විට පවතින ඉන්ධන සංචිත විදුලි උත්පාදනයට ප්‍රමාණවත්දැයි නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණිගෙන් විමසීමක් කළා. 

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබුණහොත් සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව සිදුකිරීමට අවශ්‍ය නොවන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ද නෙත් නිවුස් වෙත තහවුරු කළා. එහි ලේකම් ධම්මික විමලරත්න පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන ලැබුණහොත් ඉදිරි දින කිහිපයේ කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බවයි.

කෙසේවෙතත් ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සහ අද අලුයම විදුලිය බිඳවැටී තිබුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගනේමුල්ල ප්‍රදේශයට අද අලුයම තෙක් විදුලිය නොලැබූ බවයි. මාළඹේ, හෝමාගම සහ පානදුර යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ විදුලිය බිඳ වැටුණා.

නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එය විදුලිය කපා හැරීමක් නොව හදිසි බිඳවැටීමක් බවයි. 

එහෙත් ලංකා විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ පෙර සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමක් සිදුවූ බවයි.