Saturday, April 20, 2024

General line - 0115112241

විදුලිය නිපදවන්න ජලය වැඩිපුර ගැනීමෙන් යල කන්නයේ වී ගොවිතැන අවදානමක




ජලාශවල ඇති ජලය නියමිත ප්‍රමාණයට වඩා විදුලි උත්පාදනයට භාවිත කිරීමෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණු දෙනු ඇතැයි ගොවි වෘත්තිය සමිති පවසනවා. සමස්ථ ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න පැවසුවේ මේ වන විට ජලාශවල ජල මට්ටම අඩුවී ඇත්තේ වියළි කාලගුණය හේතුවෙන් නොව විදුලි උත්පාදනයට වැඩි වශයෙන් ජලය ලබාගැනීම හේතුවෙන් බවයි.

ඔහු කියා සිටියේ මහවැලි කලාප ආශ්‍රිත යල කන්නයේ ගොවිතැන් කටයුතුවලට ඉදිරියේදී ජලය සොයාගැනීම ගැටලුවක් වන බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රධාන ජලාශවලින් විදුලි නිෂ්පාදනයට සපයන ජල ධාරිතාව සියයට 30 ක් දක්වා පහත දැමීමට පියවර ගෙන ඇති බවයි. පසුගිය සමයේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් ජලාශවලට එක්රැස්වූ ජල ධාරිතාවයෙන් ජල විදුලි නිෂ්පාදනයට සියයට 70 ක ජල ධාරිතාවක් මුදා හැරුණා.

කෙසේවෙතත් මේ වන විට ඉතිරිවී ඇති ජල ධාරිතාව කෘෂිකර්මාන්තයට හා පානීය ජලය වෙනුවෙන් රඳවාගත යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. 

මෙවර යල කන්නයේ වගා කටයුතු මාර්තු මස මුලදී ආරම්භ වීමට නියමිතයි. එය සැප්තැම්බර් මස 15 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අතරතුර කාලයේදී වගා අවශ්‍යතා වෙනුවෙන් ජලාශවල ජලය නිකුත් කිරීම සිදු වනවා. මහ කන්නයේ වගා කටයුතු ආරම්භ වන්නේ සැප්තැම්බර් 15 වනදායින් පසුව නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟයි.