Friday, April 26, 2024

General line - 0115112241

මෙරටට ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්ණයක්




මෙරටට ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළදී සිදු නොවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ ඉතා කඩිනම් ක්‍රියාවලියකින් ආනයනික සිමෙන්ති මුදා හැරීම සිදුවන බවයි.

ප්‍රමිතියෙන් තොර සිමෙන්ති මෙරටට පැමිණ ඇත්නම් එමඟින් සිදුවිය හැකි හානිය විශාල බවද ඔහු ප්‍රකාශ කළා.

මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වන බවයි නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළේ. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කරනවා. තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදුවනවා.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මෙරටට ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්ණ කරන්නේ මේ වන විට සිමෙන්ති සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් ඇති පසුබිමකයි.

සිමෙන්ති හිඟය සහ සිමෙන්ති මිල හිතූ හිතූ ආකාරයෙන් ඉහළ නැංවීම හේතුවෙන් එම අර්බුදය හටගෙන තිබෙනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,375 ක් විය යුතු බවට සඳහන්ව ඇතත් ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,000 ක් දක්වා වැඩිවී ඇති බවයි නෙත් නිවුස් අනාවරණ කළේ.

කෙසේවෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇති බවයි.