Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය සහ ගුරු අධ්‍යාපනඥ සංගමය අද අසනීප නිවාඩු දමයි




ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය සහ ගුරු අධ්‍යාපනඥ සංගමය අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නිරත වනවා. 

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හේතුවෙන් අධ්‍යාපනඥයින් සහ ඔවුන් අතර පවතින වැටුප් නියත අනුපාතයද බිදවැටී ඇති බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමයේ ලේකම් නීල් අතුකෝරල පැවසුවේ.

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පළාත්, කලාප ඇතුලු සියලු අධ්‍යාපන ආයතනවල කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු සඳහන් කළේ. 

මේ අතර යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සේවාවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවී සිටිනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක සභික ඒ එල් උදයසිරි.

මේ අතර බස්නාහිර පළාතේ රෝහල්වල වෘත්තිය සමිති 16 කට අයත් සෞඛ්‍ය සේවකයින් මේ වන විට එක්දින වැඩවර්ජනයක නිරතවී සිටිනවා. එම වර්ජනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ අතුරු වෛද්‍ය සේවා කටයුතු සඳහායි. ඒ අනුව රසායනාගාර කටයුතු මෙන්ම ඖෂධ නිකුත් කිරීම් ද සිදුවන්නේ නැහැ. කෙසේවෙතත් බාහිර රෝගීන්ට නියම කරන ඖෂධ රාජ්‍ය ඔසුසැල් හරහා නොමිලේ ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල සහ හෝමාගම රෝහල්වල රෝගී සත්කාර සේවාවලට යම් බලපෑමක් එල්ලවී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී එම රෝහල්වල ප්‍රකාශකයින් සඳහන් කළේ.

වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්වල රෝගී සත්කාර සේවා සිදුකරන බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ. අනෙකුත් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෘත්තිය සමිති 16 ක් ආරම්භ කර ඇති වර්ජනය අවසන් වීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු 07 ටයි.