Thursday, March 28, 2024

General line - 0115112241

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද ? නැද්ද ? - තීරණය පස්වරුවේ




ඉදිරි දින කිහිපය තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සිය සාමාජිකයින් රැස්වී දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය කරන බවයි. 

විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවසර ලබාදෙන්නේ දින 04ට නොවැඩි කාලයකට පමණක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

මේවනවිට මතුව ඇති විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව වූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රියවී ඇති මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන ජනන යන්ත්‍රයේ බිදවැටීමයි. එය යථා තත්ත්වයට පත්කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි ප්‍රකාශ කෙරුණේ. 

ඒ අනුව මෙරට දෛනික විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමට ඩීසල් සහ විදුලි බලාගාරවල සහය ලබාගැනීමට සිදු වුණා. එහිදී ප්‍රධාන අවධානයක් යොමුවූයේ සපුගස්කන්ද සහ කැළණිතිස්ස යන බලාගාර වෙතයි. 

ඩීසල් යොදාගන්නා කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට් 286 ක් ජාතික පද්ධතියට එක්කරන අතර දැවි තෙල් යොදාගන්නා සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 108 ක් ජාතික පද්ධතියට එක් කරනවා. 

එවන් පසුබිමක් තුළ කැලණිතිස්ස සුජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය ඊයේ දිනයේ සිට නතර කෙරුණා. ඒ, එහි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වනවා.  

මේ අතර අවශ්‍ය ඉන්ධන මෙතෙක් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු  යළි ආරම්භ කිරීම ලබන 30 වනදා දක්වා කල් දැමුණා. මීට පෙර තීරණය වූයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයු අද සිට ආරම්භ කිරීමටයි.

පවතින විදුලි අර්බුදය හමුවේ අනවශ්‍ය විදුලි බුබුළු පමණක් නොව අවශ්‍ය විදුලි බුබුළුද භාවිතයේදී සීමා කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.