Saturday, April 20, 2024

General line - 0115112241

දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්නව වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 

ජූඩ් සමන්ත




නිවැරදි දත්ත ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණද මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්ගත වන ආසාදිතයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පවතින බයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

බොහෝ රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා ලබා දී තිබු වාට්ටු මේ වන විට වෙනත් රෝගීන් සඳහා ලබා දී ඇති බැවින් රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතින බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටිනවා.

වර්ථමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙසේ සඳහන් කර සිටියා,

"දැනට ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. දෛනිකව 2000කට ආසන්න කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බවක් පේනවා නිවැරදි දත්ත ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නොවුණට.  මේ වාර්තා වන සංඛ්‍යාවේ වැඩිවීම නිසා ම මේ වෙද්දි රෝහල් පිරී ඉතිරිලා ගිහින් තියෙනවා. ඒ වගේම ප්‍රතිකාරක මධ්‍යස්ථාන බොහෝමයක ඉඩ මේ වෙද්දි අවසන් වෙමින් යනවා. තිබුණු බොහෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවක් මේ වෙද්දි ආපහු භාරදීලා. මේ වෙද්දි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ සම්පූර්ණයෙන්ම පිරිලා ඉතිරිලා ගිහින් තියෙනවා. මේ රෝගීන්ගේ වාර්තා වීම ඉදිරියේ දී සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි තරම් වෙනබවට පෙර මඟ ලකුණු පහල වෙලා තියෙනවා. විශේෂයෙන්ම බලධාරීන් මෙන්ම ජනතාව මේ තත්ත්වය තේරුම් ගත යුතුයි අපි ඉන්න බැරෑරුම් තත්ත්වය ගැන. එසේ නොමැති වුනොත් ඉදිරියේදී දැනට අඩුවී තිබෙන කොවිඩ් ආසාදිත මරණ ගණන ඉහළ යන්න පුලුවන් සෞඛ්‍ය පද්ධතියේ දරා ගැනීමේ ශක්තිය ඉක්මවා ගියොත්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ලඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරන්න කියලත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 927 දෙනෙකු වාර්තා වුණා. මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව නවසීයේ සීමාව පසු කළේ මාස 04කට පසුවයි. කෙසේවෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ රෝහල්ගත වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කිරීමේ හැකියාව ඇති බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 50 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එන්නත්කරණයෙන් ඉදිරියෙන් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටින බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.