Thursday, March 28, 2024

General line - 0115112241

වනය සහ සතුන් ගැන පරිසරවේදීන්ගෙන් ඉල්ලීමක්




නකල්ස් රක්‍ෂිතයේ සංරක්‍ෂිත ප‍්‍රදේශ තුළ ඇති ඉඩම් වහා රජයට පවරා ගන්නැයි පරිසරවේදීන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් රක්‍ෂිතය තුළ සිදුවන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරම තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

නකල්ස් රක්‍ෂිතයේ සිදුවන මහා පරිමාණ වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් පිළිබද ඉකුත් දින කිහිපයේදී කරුණු අනාවරණ කෙරුණා. ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ මහනුවර පන්විල ප‍්‍රදේශයේදීයි.

රක්‍ෂිතය තුළ සිදුවන මෙම ජාවාරම සම්බන්ධයෙන් ග‍්‍රාම අභිවෘද්ධි මධ්‍යස්ථානයේ සංවිධායක ගාමිණි ජයතිස්ස මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙවැනි ක්‍රියා සිදු කරන්නේ සංවිධානාත්මක පිරිසක් විසින් බවයි. සංරක්‍ෂිත ප‍්‍රදේශය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කළයුතු බව ගාමිණී ජයතිස්ස මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර ශී‍්‍ර ලංකාවේ වනාන්තර ආශි‍්‍රතව සිදුවන වනසතුන් දඩයම් කිරීම සීඝ්‍රලෙස වර්ධනය වී ඇති බව පරිසර සංරක්‍ෂණ භාරය පවසනවා. එහි අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් පවතින නීති නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් බවයි.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් කඩිනමින් අවදානය යොමුකළ යුතු බවයි සජීව චාමිකර මහතා ප‍්‍රකාශ කළේ.