Friday, March 29, 2024

General line - 0115112241

රිමාන්ඩ් වන සාමාන්‍ය අයටත් රජයේ රෝහලක හෝටලයක් වගේ කාමරයක්




ප‍්‍රභූ පිරිස්වලට මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට ද රක්ෂිත බන්ධනාගාරගත වූ අවස්ථාවල රජයේ රෝහලක ගෙවන වාට්ටුවක ප‍්‍රතිකාර ලැබීමට අවස්ථාව ලබාදීමට අරමුදලක් ආරම්භ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ පැවති 2016 ආසියා ශාන්තිකර නීති සමුළුව අමතමින්.

‘‘එක් ප්‍රභූ වරප්‍රසාදලත් පිරිසකට පමණක් සිරගෙදරින් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට සාධාරණද කියලා මිනිස්සු මගෙන් අහනවා අහිංසක දුප්පත් මිනිහෙක් ඔහු සැකකාරයෙකු බවට වගඋත්තරකරුවෙක් බවට පත්වෙලා නඩුව අසනතෙක් රිමාන්ඩ් භාරයේ සිටියොත් ඔහුට රජයේ රෝහලක මර්චන්ට් වොර්ඩ් වල ඉන්න දෙනවද කියලා මිනිස්සු මගෙන් අහනවා.ඒ නිසා මං කල්පනා කළා මොන විදියේ අපරාධයක් කළත් පුද්ගලයෙක් නඩුවකින් වරදකරුවෙකු බවට තීරණය කරනතෙක් ඔවුන්ට රජයේ රෝහලක ගෙවන වාට්ටුවක හෝටලයක් වගේ කාමරයක් දෙන්න එවැනි අරමුදලක් ආරම්භ කිරිම සුදුසුයි කියලා මා විශ්වාස කරනවා ඔවුන්ට ගෙවීම සඳහා‘‘ යැයි  ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා.

නඩු ප‍්‍රමාදය ද කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලූවක් බව ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා.. ආන්දෝලනයට ලක්වන ඇතැම් නඩු පවා විසඳීමට අසාමාන්‍ය තරම් වැඩි කාලයක් ගතවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අධිකරණයේ ස්වාධීනත්වය තව තවත් තහවුරු කළ යුතු බවද පවතින ගැටලූ බොහෝමයකට සකස් කරමින් තිබෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විසඳුම් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.