Thursday, April 25, 2024

General line - 0115112241

නහයටත් උඩින් ගිය ණය ගංවතුරෙන් ලංකාව බේරා ගන්නට හැකිවෙයිද ?




lපසුගිය වසරේ සිටම රටට දිගින් දිගටම ඇසුණේ කිසිසේත්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලට නොයන බවට රජය කරන ලද දැඩි ප්‍රකාශයයි. IMF වෙතින් සහයෝගය ලබාගැනීමට රජය තීරණය කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවට වහසිබස් දෙඩූ කැබිනට් ඇමැතිවරුද දැකගැනීමට හැකිවුනා.

විශේෂයෙන් සිය ධුරයෙන් ඉවත්වන තුරුම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ද පසුවූයේ IMF සහාය වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ රටේ ආර්ථික අර්බුදයෙන් 'ගොඩයාහැකිය' යන දැඩි ස්ථාවරයේය. 

එහෙත් මේ වන විට රජයේ එම ස්ථාවරය සම්පුර්ණයෙන්ම ආපසු හැරී තිබෙනවා. මීට සතියකට පෙර පත්කරන ලද නව මුදල් ඇමැති අලි සබ්රි මේ වනවිට සිටින්නේ ඇමෙරිකාවේය.

පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට අද(24) දක්වා IMF ප්‍රධානීන් සමග පැවැත්වෙන, සිය රටට ආධාර ලබාගැනීමේ තීරණාත්මක සාකච්ඡාවක ඇමැතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස නිරතව සිටිනවා.

මේ අතර තමන් පත්කළ දෙවන කැබිනට් මණ්ඩලය අමතමින් පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන ලද්දේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා, මීට පෙර IMF සහාය ලබාගත යුතුව පැවැති බව තමාද පිළිගන්නා බවය.

ශ්‍රී ලංකාව මිට පෙරද රටට පැමිණි අසීරු අවස්ථාවන්වලදී IMF සහාය පතා තිබෙනවා. ඒ වතාවක් දෙවතාවක් නොවේ. මේ රට IMF සමග මෙවැනි ආකාරයේ වැඩසටහනකට සම්බන්ධ වන 17වැනි අවස්ථාවය. කෙසේ‍වෙතත් මෙවර වැඩසටහන වඩාත් වෙනස් ය.

ඊට හේතුව ශ්‍රී ලංකාව මෙවර තමන්ගේ අනෙකුත් ණයහිමියන් සහ IMF යන දෙපාර්ශ්වයම සම්බන්ධ කරගනිමින් තුන් ආකාරයක ගිවිසුමකට එළඹෙන පළමු අවස්ථාව මෙය වීමය. දේශීය වශයෙන් ගත්කල මෙහි තවත් විශේෂත්වයක් පවතිනවා. එනම්, මීට පෙර කෙටි ණය පහසුකම් ලබාගෙන තිබුණත් , එක්සත් ජාතික පක්ෂ නොවන ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාව දීර්ඝ ණය පහසුකමක් ලබා ගන්නා පළමු අවස්ථාව මෙය වීමයි.

පසුගිය අප්‍රේල් 18වැනිදා IMF සාකච්ඡා ආරම්භ විමේදීම තවත් විශේෂත්වයක් දැකගැනීමට හැකිවුණා. මුදල් ඇමති අලි සබ්‍රි ප්‍රමුඛ කණ්ඩායම එහිදී IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඇතුළු නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේ ප්‍රධාන ණය වැඩසටහන ආරම්භ කිරීමට පෙර IMF වෙතින් දැඩි මුල්‍ය දුෂ්කරතාවන්ගෙන් පෙළෙන රටවලට ලබාදෙන කඩිනම් සහනයක් වන 'වේගවත් ණය පහසුකම'(RCF) ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසය.

එහෙත් IMF එහිදී කොන්දේසියක් ඉදිරිපත් කරනු ලැබුවා. එනම්,සිය ආයතනයෙන් ඕනෑම ආකාරයක ණය පහසුකමක් ලබාගැනීමට ප්‍රථම ශ්‍රී ලංකාව තමන්ගේ විදේශීය ණය ආපසු ගෙවන ආකාරය පිළිබඳව සහතිකයක් ලබාදිය යුතු බව IMF එහිදී අවධාරණය කරනු ලැබුවා. 

ඉහත කොන්දේසිය අනුව දැන් ශ්‍රී ලංකාව IMF වෙත යෑමෙන් අපේක්ෂා කරන ලද ප්‍රධාන අරමුණකට බාධා පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ පවතින ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ඉතාම කෙටි කාලයක් ඇතුලත IMF විසින් ඩොලර් මිලියන 1000කට ආසන්න 'වේගවත් ණය පහසුකමක් '(RCF) මෙරටට ලබාගත හැකිවනු ඇති බවය.

එහෙත් IMF කොන්දේසිය විසින් එම බලාපොරොත්තුව බිඳ දමා තිබෙනවා. ඇත්තෙන්ම ඊට බලපා ඇති ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති ප්‍රධානම විදේශීය පාර්ශ්වයන් විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනුමැතිය ලබනොදීමය.

ඒ අතුරින් ප්‍රධාන වන්නේ චීනයයි. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් 12%කට ආසන්න කොටසකට හිමිකම් කියන්නේ චීනයයි. මෙහිදී සිය ණය ගෙවීම් කල්දමමින් ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට චීනය එකඟ විය යුතුයි. මෙලෙස චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදෙන ලෙස, මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරතවූ චීන විදේශ ඇමතිවරයාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කළ නමුත් ඇමතිවරයා ඊට එකඟතාවක් දක්වනු ලැබුවේ නැහැ.

ඉන් අනතුරුවද සැලකිවයුතු වතාවන් ගණනාවක් රජය විසින් එම ඉල්ලීම ඉදිරිපත් කරන ලද අතර අවසන් වශයෙන් IMF විසින් වත්මන් කොන්දේසිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 21වැනිදා විදේශ ඇමති මහාචාර්ය ජී.ඇල්. පීරිස් විසින්ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වෙත එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.

එහෙත් එහිදීද චීනය අනුගමනය කරන ලද්දේ නිහඬ පිළිවෙතක්. දැන් 'රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවට IMF වෙතින ණය පහසුකමක් ලබාගැනීමට තවත් මාස 06ක පමණ කාලයක් ගතවනු ඇති බව විදේශ ඇමතිවරයාට කීමට සිදුව ඇත්තේ එමනිසාය.

කෙසේවෙතත් ඉන් අදහස් වන්නේ පවතින උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩඒම වෙනුවෙන් IMF සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව අදරන උත්සාහය අසාර්ථකවී ඇති බව නොවෙයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව අපේක්ෂා කරන තරම් ඉක්මනින් IMF වෙතින් සහාය නොලැබෙන බව පමණයි.

මෙවර ශ්‍රී ලංකාව 17වැනි වතාවට IMF වෙත යෑමේදී සිදුවූ වඩාත් වැදගත් සිදුවීම වන්නේ, 18වැනිදා සාකච්ඡා ආරම්භවූ මොහොතේ පටන්ම ඉන්දියාව IMF සහාය ශ්‍රී ලංකාවට ලබාදීම වෙනුවෙන් සෘජු කාර්යභාරයකය පිවිස සිටීමය.

එහිදී 18වැනිදා පළමු දින සාකච්ඡා වටයටම ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරමන් අසුන්ගෙන සිටිනු දැකගත හැකිවුණා. ඒ වනවිට මුදල් ඇමතිනිය වොෂිංටනයේ රැඳී සිටියේ, මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වාර්ෂිකව පවත්වන 'වසන්ත රැස්වීම'(Spring meeting) වෙනුවෙන් සහභාගිවෙමින්. එහිදී ඇය සෘජුවම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටි අතර, 19වැනිදා IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්, ශ්‍රී ලංකාවට "හදිසියෙන් මූල්‍ය ආධාර සපයන ලෙස" ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

පසුව ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, විදේශ ඇමතිනි සීතාරාමන් "IMF ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවත්, කඩිනමින් මූල්‍ය ආධාර ලබා දිය යුතු බවත්" පෙන්වා දී ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් IMF කළමනාකාර අධ්‍යක්ෂිකාවද සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ දිගටම ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට මුදල් ඇමැතිවරියට සහතික වන බවය.

ඒ අනුව මේ මොහොතේ IMF වැඩසටහන් ක්‍රියාත්මක වනතුරු මෙන්ම, ඉන් අනතුරුවද සැලකියයුතු කාලයක් ගතවනතුරු ශ්‍රී ලංකාවට විශාල ලෙස යැපීමට සිදුවන්නේ ඉන්දියාව මත බව යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි.

තවත් මාස 06ක් යනු වත්මන් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සුළුපටු කාලයක් නොවෙයි. කලින් කී ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය පාර්ශ්වකරුවන් දෙදෙනා වන ඉන්දියාව සහ චීනය අතරින්, චීනය මේ මොහොතේ සිය 'ණය ප්‍රජාතාන්ත්‍රිකභාවය' පටුකර ඇති අතර, ඒ වෙනුවට අවශ්‍ය නම් තවදුරටත් සිය සුපුරුදු අධික පොළී වාණිජ ණය පමණක් මෙරටට ලබාදීමට එකඟ බවට කැමැත්ත පමණක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

එනම් ශ්‍රී ලංකාවට හිතවතකු ලෙස උපකාර කිරීමට නොව, චීනයට අවශ්‍ය වන්නේ තවදුරත් සිය පටු භූ-දේශපාලනික අරමුණු ඉටුකරගැනීමට පමණයි. එහිදී ඉන්දියාවට තරගයක් ලබාදීම වෙනුවෙන් යම් යම් කෙටිකාලින, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගකිරීම් සඳහා සුදානම් බව සඳහන් කර ඇති නමුත්, දිවයිනේ මුලික මුල්‍ය අර්බුදය විසඳාගැනීම හමුවේ දිර්ඝකාලින විසඳුම් වෙනුවෙන් මැදිහත්වීමට චීනය කැමැත්තක් දක්වා නැහැ.

එහෙත් ඒ වෙනුවට ඉන්දියාව, දිවයිනේ ප්‍රධානම කඩිනම් අවශ්‍යතාවක් වන ඉන්ධන අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය මාර්ගයක්(Credit Line) සකස් කර දීමට එකඟවී ඇති අතර, එමගින් තවත් මාසයකට වැඩි කාලයක් සඳහා ඉන්ධන සහ විදුලිය අවශ්‍යතා තාවකාලිකව හෝ සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී තිබෙනවා.

එසේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2ක පමණ වූ ණය මාර්ගයක් සම්පාදනය කරදිමටද ඉන්දියාව කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා. මෙම සියලු තත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉතාමත් විචක්ෂණශීලීව කටයුතු කළයුතුව ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ.

විශේෂයෙන් සිය ආර්ථිකය නැවත පීලිගත කිරීමේදී, දැන්, ශ්‍රී ලංකාව විසින් තමා ක්‍රියාත්මක කලයුතු නියමිත ක්‍රමවේදය සීරුවෙන් තෝරාගත යුතුවාක් මෙන්ම, ඉදිරියේදී තමා ගනුදෙනු කළයුතු නිවැරදි 'ණයහිමියන්' කවුරුන්ද යන්නද අවසන්වරට විචාරය කළයුතුව තිබෙනවා.