Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ වීදි යාචකයන්ගෙන් පිරෙයි




තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු රට තුළ වර්ධනය වන දේශපාලන නොසන්සුන්තාව මධ්‍යයේ, දරිද්‍රතාවය සහ විරැකියාව ඉහළ යාම නිසා ඇෆ්ගන් ජනතාවගෙන් විශාල පිරිසක් මහ මගට වැටී ඇති බව වාර්තාවනවා.

මේ දිනවල ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන මාර්ග යාචකයන්ගෙන් පිරී ගොස් ඇති බවත් යාචකයන්ගෙන් නොපිරුණු වීදයක් කාබුල් අගනුවර දී දැකගත නොහැකි තරම් තත්වය දරැණු වී ඇති බවත් එරට වාර්තාවල සදහන්. 

මේ හේතුවෙන්,  රට පුරා යාචකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස තලේබාන් අන්තර්වාර රජයේ අගමැති මුල්ලා මොහොමඩ් හසන් අඛුන්ද් කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය වෙත නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. 

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී කාබුල් නගරය අත්පත් කරගත් තලේබාන් පාලනය කාන්තා අයිතිවාසිකම් සහ නිදහස කප්පාදු කර ඇති අතර, ආර්ථික අර්බුදය සහ සීමා කිරීම් හේතුවෙන් කාන්තාවන් බොහෝ දුරට ශ්‍රම බලකායෙන් ඉවත් කර ඇති බව සදහන්.

ඒ අනුව ජීවනෝපාය අහිමි වූ සහ ගැටුම් හේතුවෙන් වැන්දඹුවන් බවට පත්ව ඇති කාන්තාවන් විශාල පිරිසක් ‍මෙසේ යාචකයන් බවට පත්ව ඇති බව ද පැවසෙනවා. 

දේශීය සමීක්ෂණයකට අනුව, පැවති රජය බිඳවැටීමෙන් පසු රටේ දරිද්‍රතාවයේ අනුපාතය සියයට 95 ඉක්මවා ඇති අතර ජීවත්වීමට මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් රටේ ජනතාවගෙන් සියයට 56 ක් රට හැර යාමට අපේක්ෂාවෙන් පසුවන බව ද සදහන්.