Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝකයට වනානන්තර සියයට 30 ක් අහිමි වෙයි - වසර 122 කට පසු ඉන්දියාව ගිණියම් වේ




ඉන්දියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිල්ලිය ඇතුලු ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සතිය තුළ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ යනු ඇති බවයි. 

එය සැලකෙන්නේ වසර 122 කට පසු ඉන්දියාවෙන් වාර්තා වන ඉහළ ම උෂ්ණත්වය ලෙසයි. පවතින අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ඉන්දිය ජන ජීවිතයට ද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. ඉන්දිය වාර්තාවල දැක්වෙන්නේ එදිනෙදා ජීවන උපාය සිදුකරන මිලියන ගණනක පිරිසකට මෙමඟින් දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි.

මේ අතර නවතම පාරිසරික වාර්තාවක දැක්වෙන්නේ ඉකුත් වසරේදී පෘථිවියට උතුරු ප්‍රදේශයේ තිබූ වන ගහණය විශාල වශයෙන් අහිමිවී ඇති බවයි. “ග්ලෝබල් ෆොරස්ට් වොච්” නම්වූ සංවිධානයේ මෙම වාර්තාවට අනුව පෘථිවියේ උතුරු ප්‍රදේශයෙන් පමණක් අහිමිවී ඇති වන ගහණය සියයට 30 ක්. ඇතැම් ප්‍රදේශවල එක් විනාඩියකට පාපන්දු ක්‍රීඩාංගන 10 ක් තරම් විශාල ප්‍රාථමික වනානන්තර විනාශවී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර 2021 වසරේදී ලොවට අහිමි වී ඇති වනගහනය භූමි ප්‍රමාණයෙන් බි්‍රතාන්‍යයේ භූමි ප්‍රමාණයට වඩා වැඩි බවද නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ  ගෝලීය දත්ත වාර්තා පදනම් කරගෙනයි. එම වාර්තාවට අනුව 2021 වසරේදී විනාශයට ලක්ව ඇති වනාන්තර භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් දෙලක්ෂ 53000 ක්. 

මේ අතර මේ දිනවල මෙරට උෂ්ණත්වය ද ඉහළ ගොස් තිබෙනවා. ජනතාව පවසන්නේ උදෑසන කාලය පවා වෙනදාට වඩා උණුසුම්වී ඇති බවයි. දිගින් දිගටම සිදුවන වන විනාශය සහ ඉන් ඇතිවිය හැකි අනාගත බලපෑම් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් රේඩියෝව දිගින් දිගටම තොරතුරු අනාවරණය කළා. අනාවරණයෙන් පමණක් නොනැවතී රටේ වන ගහණය ආරක්ෂා කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව දිගින් දිගටම පෙරමුණ ගෙන කටයුතු කළා.