Tuesday, April 23, 2024

General line - 0115112241

චීනය බැංකු ලොක්කන් සමග හදිසි කතාවක




එක්සත් ජනපදය හදිසියේ තමන් වෙත සම්බාධක පැනවීමක් සිදුකළහොත් ඉන් විදේශ වත්කම් ආරක්ෂා කර ගැනීමේ මාර්ග පිළිබද සාකච්ඡා කිරීම සඳහා චීනය විදේශීය සහ දේශීය බැංකු නියෝජිතයින් සමඟ හදිසි අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම හදිසි රැස්වීම චීනයේ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම විදේශීය සහ දේශීය බැංකු විධායකයින් ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇති බවයි. 

එවැනි හදිසි සම්බාධක පැනවීමක් සිදුකළහොත් , ලෝකයේ සෑම ප්‍රදේශයක්ම ස්පර්ශ කරන චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසෙනවා.

එය වර්තමානයේ බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධකවලට සාපේක්ෂව වැඩි ආර්ථික බලපෑමක් සිදු කළ හැකි එකක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර රුසියානු මහ බැංකුවේ ඩොලර් වත්කම් අත්හිටුවීමට වොෂින්ටනයට සහ එහි සමීපතමයින්ට ඇති හැකියාව පිළිබඳව ද  බීජිනය දැඩි අවධානයෙන් සිටින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

එම වාර්තාවලට අනුව, කලාපීය හමුදා ගැටුමක් හෝ වෙනත් අර්බුදයක් ඇති වුවහොත් චීනයට එරෙහිව ද එවැනිම ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකි බවයි චීන බලධාරීන්ගේ අදහස වී ඇත්තේ.