Friday, March 29, 2024

General line - 0115112241

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ලකුණු 05ක තියුණු ජයක්




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඔවුන් මෙවර තරගාවලියේදී ලද දෙවන ජයග්‍රහණය මෙයයි.

මුම්බායි හි පැවැති එම තරයේ කාසියේ වාසිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 177ක්. 

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 74ක සාර්ථක සබදතාවක් ගොඩනැගීමට ඉෂාන් කිෂාන් හා නායක රෝහිත් ෂර්මා සමත් වුණා. රෝහිත් ෂර්මා පන්දු 28කදී ලකුණු 43ක් රැස් කළ අතර  ඉෂාන් කිෂාන් පන්දු 29කදී ලකුණූ 45ක් රැස් කළා. ටිම් ඩේවිඩ් පන්දු 21කදී නොදැවී ලකුණු 44ක් රැස් කළේ  හයේ පහර 4ක් සහ හතරේ පහර 2 ක් ද සමගින්. පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 178ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි. ආරම්භක කඩුල්ල සදහා ව්රිධිමන් සහා හා ෂුබ්මන් ගිල් ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගුවා. ෂුබ්මන් ගිල් පන්දු 36කදී ලකුණු 52ක් රැස් කළ අතර ව්රිධිමන් සහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 55ක්. නායක හර්දික් පාන්ඩ්යා පන්දු 14කදි ලකුණු 24යි. 

තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේ දී  ගුජරාට් ටයිටන්ස් පිලට ලකුණු 9ක් ලබා ගත යුතුව තිබූ අතර ඩැනියල් සෑම්ස් යොමු කළ එම පන්දුවාරයේදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණයි. පන්දු යැවීමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන්  මුරුගන් අශ්වින් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 5ක ජයක් වාර්තා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදී සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.