Thursday, April 25, 2024

General line - 0115112241

දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක් - විද්වතුන් බලාපාරොත්තුවෙන්




නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හරහා ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඔවුන් කියා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පැවතීම ඊට හේතුව බවයි. 

රට හමුවේ පවතින අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ද කඩිනමින් සහය ලබාගැනීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවා. 

දේශපාලන අස්ථාවරත්වය යටතේ තව දිනක් හෝ කල් දැමීම රටේ ආර්ථික තත්ත්වයට කිසිසේත්ම සුබදායක නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ශ්‍රී ලංකාව යනු මේවනවිට ලෝකයේ විශාලතම ආර්ථික අර්බුදයක් පවතින රටක් බැවින් වඩාත් වැදගත් වන්නේ පුද්ගලයා නොව ඔහු ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ.  

රටට දැන් අවශ්‍ය වන්නේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඉකුත් 09 වනදා සිට අග්‍රමාත්‍යධූරය හිස්ව තිබුණා. එවන් පසුබිමක් තුළ රට හමුවේ පවතින අර්බුධ ද තව තවත් උග්‍ර වුණා. රට ඉදිරියට ගෙනයාම සදහා  අමාත්‍යාංශ කිහිපයකට ලේකම්වරුන් පත් කෙරුණුද අනෙකුත් අමාත්‍යාංශවලට ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් ජනතා සේවාවන්වලටද බාධා එල්ල වී තිබෙනවා. 

එම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතු වනවා. එවන් පසුබිමක් තුළ අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම ගැනීම හරහා අනෙකුත් පත් කිරීම් සිදුකිරීමටද මේ වනවිට හැකියාව පවතිනවා. 

මේ අතර නව කැබිනට් මණ්ඩලය කෙසේවිය යුතුදැයි නෙත් නිවුස් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්ගෙන් විමසීමක් කළා. 

මෙතෙක් අඛණ්ඩව ඉහළ යමින් තිබූ අමෙරිකානු ඩොලරයේ අගය ඊයේ පහළ ගිය අතර කොටස් වෙළඳපලේ ද ඊයේ දිනයේ දැවැන්ත පිබිදීමක් දක්නට ලැබුණා.