Wednesday, April 24, 2024

General line - 0115112241

ඩොලර් නැතිව ගෑස් නෞකා 02 ක් තවමත් මුහුදේ




මෙරට ජනතාව ගෑස් පෝළිම්වල තවදුරටත් රැඳී සිටියදී මෙරටට ගෑස් රැගෙන ආ නෞකා 02 ක ගෑස් තොග දින කිහිපයක් ගතවුවත් තවමත් මෙරටට ලබා ගැනීමට නොහැකි වී ඇතැයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණා. නෙත් නිවුස් කළ විමසීමකදි හෙළි වුණේ මෙම නෞකා 02 ට අවශ්‍ය ඩොලර් ගෙවීමට නොහැකි වීම මෙම තත්ත්වය හේතුව බවයි. 

ඒ සඳහා අවශ්‍ය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 08 ක්. මෙම නෞකා 02 න් මෙරටට රැගෙනවිත් ඇති ගෑස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 7,000 ක්. එය මෙරට දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් දින 07 කට ප්‍රමාණවත් වනවා. 

නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ මේ වන විට ලිට්‍රෝ සමාගම සතුව පවතින්නේ ගෑස් සිලින්ඩර් 2,000 ක් පමණක් බවයි. ඒ අනුව අද දිනයේ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම නෙත් නිවුස් වෙත තහවුරු කළා. එම සමාගමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ මේවනවිට පවතින තත්ත්වය අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා ද ගෑස් නිකුත් කිරීම අපහසු බවයි. 

මේ අතර රට තුළගෑස් නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති පසුබිමකත් ලැබෙන සීමිත ගෑස් තොගයෙන් වංචා කරන පිරිසක් පිළිබඳව ද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. නියෝජිත ආයතන වෙත බෙදාහැරීමට ගෑස් තොග නිකුත් කිරීමෙන් පසු අදාළ ලොරි රථවල ගමන් ගන්නා පුද්ගලයින් අතරමගදී ගෑස් සිලින්ඩර වැඩිමිලට අලෙවි කරන බවටයි අනාවරණ වී ඇත්තේ. 

අධිවේගී මාර්ගවලදී ද මෙම වංචාව සිදුවන බව නෙත් නිවුස් කළ සොයා බැලීමේදී අනාවරණ වුණා.