Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල වැසි තත්ත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකියක්




ඉදිරි සතිය තුළ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිහිටි ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ මේවනවිට ද ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට වැසි ඇදහැලෙමින් ඇති බවයි. 

ඉදිරි සතියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුලදී වැඩිම වර්ෂාපතනයක් ඇදැහැලී තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශයටයි. එම කාලය තුලදී රත්නපුර ප්‍රද්ශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 124 යි දශම 5 ක්. බුලත්සිංහල ප්‍රදේශයට මිලිමීටර් 109 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ පල්ලේගම ප්‍රදේශයට ගතවූ පැය 24 දී මිලිමීටර් 106 යි දශම 5 ක වර්ෂාපතනයක් අදැහැලී තිබෙනවා. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග ජලාශ කිහිපයක වාන් දොරටුද විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ, එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි. 

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ. 

මේ අතර සබරගමුව පළාතේ සහ මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.