Friday, April 19, 2024

General line - 0115112241

කලහ කළ සියලු සැකකරුවන් සතියක් තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිස්පති ජනපතිට කියයි




ඉකුත්දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පහරදීම්, ගිනි තැබීම් සහ දේපළ හානිකිරීම්වලට සම්බන්ධ සියලු සැකකරුවන් සතියක් තුල අත්අඩංගුවට ගන්නා බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න ප්‍රකාශ කර තිබෙනවා.

ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා විමර්ශන ආරම්භ කරන බවයි පොලිස්පතිවරයා සදහන් කර ඇත්තේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදීයි.  
 
එම සාකච්ඡාව ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර අද පෙරවරුවේ පැවැත්වුණා. ඊට පොලිස්පතිවරයා කැදවා ඇත්තේ නොසන්සුන්තාවයේදී ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැන ගැනීම සදහායි.

ගෙවල් ගිනි තැබීම් සහ වාහන ගිනි තැබීම් මෙන්ම ඒවාට අලාභ හානි කිරීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් එහිදී පොලීසිය විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ. එම සිද්ධීන් පාලනය කිරීමට පොලීසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවටයි මන්ත්‍රීවරුන් චෝදනා කර ඇත්තේ.

ඉකුත් 9 වනදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද සමාජ මාධ්‍ය හරහා වෛර ප්‍රකාශ සිදුකළ පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස්පතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.
 
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන හා දුමින්ද දිසානායකගේ අනුරාධපුර ප්‍රදේශයේ නිවෙස්වලට පහරදුන් සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලීසිය පැවසුවේ සැකකරුවන් අතර එක් හිමිනක්ද සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේට අයත් නාවලපිටියේ පිහිටි කාර්යාලයට පහරදුන් සැකකරුවන් සිව්දෙනෙකෙුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත්දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවලින් දේපළ සොරකම් කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබාදෙන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම පුද්ගලයන්ගේ තොරතුරු 1997 හා 119 ක්‍ෂණික දුරකතන අංක ඇමතීමෙන් ලබාදිය හැකියි. එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්‍ෂා කරන බවද පොලීසිය සදහන් කළා.

ඉකුත් 9 වනදා ගාලුමුවදොර අරගල භූමියට පහරදීමට අදාළ විමර්ශන සදහා අද දිනයේද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අද දිනයේද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. මේ වනවිට අරගල භූමියේ සිටි පුද්ගලයන් සිය දෙනෙකුගෙන් පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර බීබීසී සිංහල සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සිද්ධිය සහ රඹුක්කන ඇති වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

මේ අතර ඉකුත් 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ පිරිසට එල්ල වූ ප්‍රහාරවලින් පසු වැඩිම පහරදීම්, අලාභ හානි කිරීම්වලට අදාළ සිද්ධීන් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්.
 
එම ගණන 207ක් බවයි පොලීසිය පැවසුවේ. වයඹ පළාතෙන් ද සිද්ධින 85ක් සහ සබරගමුව පළාතෙන් සිද්ධීන් 38ක් ද වාර්තා වූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.