Saturday, April 20, 2024

General line - 0115112241

සියලුදෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක්විය යුතුයි - ජනපති




ලිච්ඡවි සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක්වන්නැයි මෙම උතුම්  වෙසක් පොහොය දිනයේදී ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

වෙසක් පුන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බෞද්ධ පිළිවෙත අනුව පවතින තත්ත්වය සිහිනුවණින් දැක සියලුදෙනාට පොදු සාධාරණය විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක්විය යුතු බවයි. අසීරු අවස්ථාවන්හිදී වීර්්‍යයාධික විය යුතු බවත් රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයින් සියලුදෙනා එක්ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා සිය වෙසක් දින පණිවිඩයෙන් පෙන්වා දෙනවා. 

මූලික අරමුණින් බැහැර නොවී අපේක්ෂිත ඉලක්කය වෙත ලගාවීම ඒකායන අරමුණ විය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ වෙසක් පුන් පොහෝ දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර රට මේ මොහොතේ පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයෙන් මුදාගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනාකොට ආදර්ශයට මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වෙසක් පුන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ සංයමය සහ ස්ථාවරත්වය මුළුමහත් ලාංකික ජන සමාජයට නැවත උදාකර ගත යුතු බවයි.

ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ සප්ත අපරිහානි ධර්මය මේ මොහොතේ අගනාම දාර්ශනික අර්ථය මෙන්ම ප්‍රායෝගික  රාජ්‍ය දේශපාලන මගපෙන්වීම බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා. සප්ත අපරිහානි ධර්ම අර්ථය තුළින් පෙන්වා දුන් මාර්ගය මෙරට දිශාන්තිය බවට පත් කිරීමේ අදිටනින් මෙම උතුම් සම්බුදු තෙමගුල් දිනයේ කැපවීමට අධිෂ්ඨාන කරගත යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ වෙසක් පුන් පොහෝ දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

බලලෝභීත්වය, අවස්ථාවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය තුළින් ලෝකය අසිරිමත් කිරීමේ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රායෝගිකවම ලොවට හෙළි කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා.

“ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරණු ඇතැයි” යන උතුම් බුදු වදනට අනුගතව නොපමාව කුසල් රැස් කිරීමට මෙම උතුම් තෙමඟුල් දිනයේ සියලු හදවත් තුළ තිරසාරව සනිටුවහන් කර ගැනීම ඉතා වැදගත් බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.