Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව තිරිගු වෙළෙදාම අල්ලන්නට හදයි




තිරිඟු අපනයනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මොරොක්කෝව, ටියුනීසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, වියට්නාමය, තුර්කිය, ඇල්ජීරියාව සහ ලෙබනනය යන රටවලට නියෝජිත පිරිසක් යැවීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි වාර්තාවනවා.

එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ ගෝලීය වශයෙන් ඉහළ යන තිරිගු ඉල්ලුම මධ්‍යයේ 2022-23 වසර තුළ ඉන්දියාව වාර්තාගත ටොන් මිලියන 10 ක (MT) තිරිඟු අපනයන ඉලක්කයක් සැලසුම් කර ඇති බවයි.

ගතවූ වසරේ දී ඉන්දියාව ඩොලර් බිලියන 2.05 ක් වටිනා තිරිඟු අපනයනය කර තිබෙනවා.

එම තිරිඟුවලින් 50% ක් පමණ බංග්ලාදේශයට අපනයනය කර ඇති අතර ඊජිප්තුව ද ඉන්දියාවෙන් සැළකිය යුතු තිරිගු තොගයක් මිලදී ගෙන ඇති බව සදහන්.

ඉන්දීය කෘෂිකාර්මික සහ සැකසූ ආහාර නිෂ්පාදන අපනයන සංවර්ධන අධිකාරියේ (APEDA) අනුග්‍රහය යටතේ විවිධ අමාත්‍යාංශවල නියෝජිතයන් පත් කරමින් තිරිඟු අපනයනය සඳහා කාර්ය සාධක බලකායක් ද එරට රජය විසින් මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.

ගෝලීය වශයෙන් ඉන්දියානු තිරිඟු සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් විශ්වාසදායක ගෝලීය තිරිඟු සැපයුම්කරුවෙකු ලෙස නැගී සිටීම සඳහා තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කරන ලෙස ඉන්දීය රජය ගොවීන්ට, වෙළඳුන්ට සහ අපනයනකරුවන්ට උපදෙස් දී ඇති බව ද එරට වාර්තා සදහන් කරනවා.