Wednesday, April 24, 2024

General line - 0115112241

නෞකා ආවත් දෛනික ගෑස් බෙදීමත් අඩකින් අඩු කෙරේ




දෛනික ගෑස් බෙදා හැරීම අද දිනයේ සිදුවුවද අපේක්ෂිත මට්ටමින් එය සිදුකිරීමට නොහැකිවී ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ ගෑස් සිලින්ඩර් 80,000 බැඟින් වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට වෙළඳපොලට මුදා හැරෙන්නේ ගෑස් සිලින්ඩර් 35,000 ක් පමණක් බවයි. දිවයිනට ළඟාවී ඇති නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතුවලට තවදුරටත් අයහපත් කාලගුණයෙන් බාධා මතුව තිබීම මීට හේතුව බවද ඔහු පැවසුවා.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ජනතාවට දැනුම්දුන්නේ ගෑස් ලබාගැනීමේ අරමුණින් අනවශ්‍ය ලෙස පෝලිම්වලට නොපැමිණෙන ලෙසයි.

කෙසේවෙතත් ගෑස් ලබාගැනීමේ අරමුණින් අද දිනයේද ජනතාව වෙළඳසැල් වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඒ අතරින් බොහෝ පෝලිම් දක්නට ලැබුනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු නාගරික ප්‍රදේශවලයි. මේ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ අද දිනයේ බෙදා හරින ගෘහස්ථ සිලින්ඩර්වලින් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයට බෙදා හරින බවයි.

මේ අතර අද දිනයේද ඕමානයේ සිට තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතයි. එමඟින් මෙරටට රැගෙන ඒමට අපේක්ෂිත ගෑස් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 3,500 ක්. ඉකුත් සඳුදා දිනයේද ගෑස් මෙට්ට්‍රික් ටොන් 2,800 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණියා.

මේ අතර ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා කොල්ලුපිටිය අග්‍රාමාත්‍ය කාර්යාලය අසලද පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.