Thursday, April 18, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කළත් බස් හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරේ




අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රජයේ නිලධාරීන් අද දිනයේ සේවයට කැදවුවද දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවලට අදාළ රජයේ නිලධාරීන් පමණක් අද දිනයේ සේවයට වාර්තා කළ යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පිරිස පිළිබඳ සලකා අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනනය කෙරෙන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය ද පැවසුවේ අද දිනයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි. එහෙත් පෞද්ගලික බස් රථ අද දිනයේද ධාවනය කෙරෙන්නේ සීමිත ප්‍රමාණයක් බවයි බස් සංගම් සඳහන් කළේ. ඊට හේතුවී ඇත්තේ බස් රථවලට අවශ්‍ය ඩීසල් මෙතෙක් නොලැබීමයි.

මේ අතර අද දින පාසැල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්්‍යය මණ්ඩලය අද දින නියමිත රාජකාරී සඳහා වාර්තා කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.