Friday, April 19, 2024

General line - 0115112241

ඩයලොග්, MAS, Hemas සහ CBL විසින් සිදුකරන ‘මනුදම් මෙහෙවර’ වෙතින් පවුල් 10,000ක් වෙත සහන




රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් ජනතාව වෙත හදිසි සහන සැලසීමේ ‘මනුදම් මෙහෙවර’ දීපව්‍යාප්ත වැඩසටහන තුළින් දැනට පවුල් 10,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසීමට සමත්ව තිබේ.

මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු වශයෙන් කටයුතු කරන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා විගණන සහකරු වශයෙන් කටයුතු කරන PwC Sri Lanka  ඇතුළු මෙම ව්‍යාපෘතියේ සමාජීය යහපැවැත්ම අපේක්ෂා කරනු ලබන  හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC සහ CBL සමූහය විසින් මුලපුරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා වෙසෙන සිය මූලික අවශ්‍යතාවන් හෝ සපුරාගැනීමට නොහැකිව දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතුරින් පවුල් 200,000කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. ITN, සියත, ස්වර්ණවාහිනී, TV දෙරණ සහ වසන්තම් යන ආයතනද මාධ්‍ය හවුල්කරුවන් ලෙස මෙම වැඩසටහනට සහයෝගය දක්වයි.

මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සිය සහන කටයුතු ක්‍රියාත්මක කරනු ඇත.දිවයින පුරා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින 200,000 කට අධික පවුල් සංඛ්‍යාවකට අවශ්‍ය කඩිනම් සහන සැලසීම වෙනුවෙන් අප ගන්නා සාමූහික ප්‍රයත්නය සමඟ එක්වන ලෙස සෙසු සියලු සමාගම් හා ආයතනවලට අපි ඇරයුම් කර සිටිමු.

‘මනුදම් මෙහෙවර’ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට https://www.dialog.lk/corporate වෙත පිවිසෙන්න.