Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගේ සංචාරය අවසානයත් සමග උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදා බැලීම




උතුරු කොරියාව යළිත් වරක් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා. ජපානය හා දකුණු කොරියාව පැවසුවේ උතුරු කොරියාව අද උදෑසන මිසයිල 03 ක් අත්හදා බැලූ බව හා ඒ අතර අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් ද වන බවයි. 

උතුරු කොරියාව එලෙස බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක නිරත වුණේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිල සංචාරයක් සඳහා දකුණු කොරියාවට මෙන්ම ජපානයට ද පැමිණ එම කලාපයෙන් පිටව ගිය සැනින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එමෙන්ම ඉන්දු - පැසිෆික් සාගර කලාපයේ ආරක්ෂාව සහ වෙළඳ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා “කොඩ්” සමුළුව ද ඊයේ ජපානයේ පැවැත්වුණා. ඒ, අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව යන රටවල රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන්. #

ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනය සිදුකරන මැදිහත්වීම්වලට එරෙහිව නැගී සිටීමක් ලෙස ද ජාත්‍යන්තර විචාරකයින් මෙම හමුව පෙන්වා දෙනවා. කෙසේවෙතත් එහි උණුසුම මැකී යාමටත් පෙරයි උතුරු කොරියාව මෙලෙස යළිත් සිය මිසයිල ශක්තිය ලෝකය හමුවේ පෙන්නුම් කර ඇත්තේ. 

උතුරු කොරියාව යනු චීනයේ හිතමිතුරු රටක් වන අතර අමෙරිකාවේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු ද වනවා. කෙසේවෙතත් දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබුණේ උතුරු කොරියාව සිදුකරන ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්වීමට සිය රට සූදානම් බවයි.