Tuesday, April 23, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්




මෙවර අයවැයෙන් බදු ප්‍රතිශතය නැවත ඉහළ දැමීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තවත් සති 06 කින් පමණ අයවැය ඉදිරිපත් කෙරෙනවා. එම අයවැයේ ප්‍රධාන ඉලක්කය වන්නේ වියදම් කපා හැරීම බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඒ, “බ්ලූම් බර්ග්” වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. 

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍යයේ හා අධ්‍යාපනයේ වියදම් කපා නොහරින බවයි. අනෙකුත් ක්ෂේත්‍රවල වියදම් කපා හැරීමෙන් එම මුදල් සමාජ සුබසාධනය සඳහා යොමු කළ හැකියි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් මේ වන විටත් පීඩාවට පත්ව සිටින බවත්, ඔවුන් මුහුණදෙන ගැටලු තමන්ට වටහා ගැනීමට හැකි බවත් “බ්ලූම් බර්ග්” වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් පසු චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා සාකච්ඡා කරන බවද අග්‍රාමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

මේ අතර විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි.

ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට නියමිත රටවල් සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී මෙලෙස කරුණු දැක්වුවා.