Wednesday, April 24, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයෙන් මියගිය පිරිස දහස ඉක්මවයි




ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස මේවනවිට දහස ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුවාල ලැබූ පිරිස 1500 ඉක්මවා ඇති බවයි තලෙයිබාන් සංවිධානය උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ. 

ඇෆ්ගනිස්ථානයේ කොස්ට් ප්‍රදේශයට කිලෝ මීටර් 44 ක් පමණ දුරින් මැග්නිටියුඩ් ඒකක 6 යි දශම 1 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් සිදුව තිබුණා. දශක 02 කට පමණ පසුව ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූ කම්පනය මෙයයි. 

භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ පක්ටිකා ප්‍රදේශයටයි. එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි සහ නිවාස රැසක් භූ කම්පනයේ බලපෑම හමුවේ සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. එලෙස කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවී බොහෝ පිරිසක් මියගොස් ඇති බවයි අනාවරණ වුණේ. 

භූ කම්පනයේ බලපෑම එල්ල වූ කඳුකර ප්‍රදේශ වෙත සහන කණ්ඩායම්වලට ලගාවීම අපහසු වී තිබෙනවා. එබැවින් හෙලිකොප්ටර්වල සහය ලබාගෙන තුවාලකරුවන් රෝහල්ගත කිරීම සිදුවුණා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා සහන සේවකයින් තවදුරටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. 

භූ කම්පනය සිදුව තිබුණේ අද අලුයම බැවින් බොහෝ පිරිසක් සිය නිවෙස් තුළ නිදා සිටියදීම එම නිවෙස් කඩාවැටීමට ලක්ව තිබෙනවා. ඒ හමුවේයි බොහෝ පිරිසක් මියගොස් ඇත්තේ. සහන සේවා තවදුරටත් ක්‍රියාත්මක බැවින් මියගිය හා තුවාල ලැබූ පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගන් බලධාරීන් සඳහන් කළේ. නිදා සිටි බැවින් බොහෝ පිරිසක් එලෙස සුන්බුන්වලට යටවී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.