Saturday, April 20, 2024

General line - 0115112241

පෙට්ට්‍රල් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාදයි : ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පැහැදිළි කිරීමක්




‪අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪පෙට්ට්‍රල් තොගය රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බවත් මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්ට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.‬

‪ඔටෝ ඩීසල් නිකුත් කිරිම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇති බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.‬

පෙට්‍රල් මෙටිට්‍රික් ටොන් 40,000ක් රැගෙන පැමිණෙන මෙම නෞකාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා ගෙන සිටියේ දින කිහිපයක් පවතින දිගු පෙට්‍රල් පෝලිම්වලට එයින් හෝ විසදුමක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන්.

මෙම නෞකාවේ පැමිණීම අපේක්ෂාවෙන් ඇතැම් පිරිස් පෙට්‍රල් පෝලිම් වෙත පැමිණ සිටියේ ඊයේ දිනයේ සිටයි. බොහෝ පිරවුම්හල් අසල ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයමත්, කාන්තාවන් පවා රැදී සිටිනු දැකගත හැකි වුණා.

මේ අතරතුර ඇතැම් පිරවුම්හල් වෙත සීමිත පෙට්‍රල් තොග පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එහෙත් ඇතැම් පිරවුම්හල් අසල අදත් උණුසුම් තත්වයන් ඇති වනු දැක ගත හැකි වුණා. ඒ, දිගු වේලාවක් පෝලිම්වල රැදී සිටි පිරිසට පරිභාහිරව පැමිණෙන පිරිස් ඉන්ධන ලබා ගැනීමට උත්සහ දැරීමත් සමඟයි.
  
මේ අතරතුර ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් සිව්දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න පැලවත්ත ඉන්ධනහල අසල දී සිදුවූ නොසන්සුන් සිද්ධියක් සම්බන්ධයෙන්.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී කාලයේ දී පැලවත්ත ඉන්ධනහල අසල දී රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ගේ හා යුද හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කරමින් හා මහජන සාමය කඩවන අයුරින් සැකකරුවන් බීමත්ව කලහකාරීව හැසිරී ඇති බවයි.

එමෙන්ම නිකවැරටිය මාගල්ලේගම ප්‍රදේශයේ ද ඉන්ධන පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරෙමින් එහි සේවකයින්ව සාපරාධී බියගැන්වීම් කළ බව කියන තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර දින 5කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක් පාරිභෝගිකයන්ගේ භාරයට ගත් පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෙසේවෙතත් ඔවුන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට මෙන්ම බවුසරයේ රියදුරුට හා සහායකයාට ද කිසිදු හිරිහැරයක් නොවන පරිදි සිය විරෝධය පළ කර තිබුණා.

පසුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අද දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමඟ බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට විරෝධතාකරුවන් කටයුතු කළා.