Thursday, April 25, 2024

General line - 0115112241

අවසන් අංකයට දින දෙකක් ඉන්ධන දෙන්න සැලැසුමක්




කිසිදු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලු‍ම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින වෙන් කරන ආකාරය පිළිබඳ බලශක්ති අමාත්‍යංශය තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දින වෙන් කර ඇති අතර අවසාන ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමට නියමිතයි. ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ගැනීමට මෙම ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබා දෙනු ඇති.

ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් වන යෝජිත ක්‍රමවේදයට මෙම අංක සැලැස්මද අයත්.

එම සැලැස්මට අනුව ලංගම සියලු ඩිපෝ මගින් පෞද්ගලික බස්, පාසල් ළමුන් ප්‍රවාහන රථ, රජයේ හා පොෟද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන රථ හා විදේශීය සංචාරක ප්‍රවාහන රථවලටද ඉන්ධන ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මඟී ප්‍රවාහන ත්‍රීරෝද රථ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරනු ඇති.
 
කෘෂිකාර්මික, වැවිලි, අපනයන, සුළු හා මධ්‍ය පරිමාන යන ක්ෂේත්‍ර සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල් නිශ්චිතව තෝරා ගැනීමටද නියමිතයි.

ඒ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන්නේ සිකුරාදා දින පමණයි. අත්‍යාවශ්‍ය හා හදිසි රාජකාරී කටයුතුවල නිරත වෘත්තිකයින් හා කාර්ය මණ්ඩල සඳහා අඟහරුවාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.