Wednesday, April 24, 2024

General line - 0115112241

කහ පාටට, ලෝකෙම නෙත් ශ්‍රී ලංකාවට හරවන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟය අද




අර්බුද රැසක් මැද සිටින මෙරට ජනතාවගේ මුවඟට සතුටක් එක් කළ ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් තරඟාවලිය අද අවසන් වනවා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පස්වන සහ අවසන් තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය මේ වන විටත් 3-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන අවසන්. 

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා මෙම තරඟාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයක සිටින සමයකයි. මෙම තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් මිලියන දෙකකට අධික මුදල මෙරට ජනතාව වෙනුවෙන් ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ. 

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ස්ටිව් ස්මිත් හා මිචෙල් ස්ටක් ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා. ඒ, ඩොලර් මිලියන 47.2ක ආධාර අපේක්ෂාවෙන්. එමෙන්ම හදිසි ආහාර සහ ඖෂධ වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50 ක ආධාරයක් දුන් ඕස්ට්‍රේලියාව මේ මොහොතේ ඔවුන්ට කළ හැකි දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙමින් සිටිනවා.

එවන් පසුබිමක සමස්ථ ශ්‍රී ලංකාවේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘතගුණ දැක්වීමට ශ්‍රී ලාංකිකයින් අද සූදානම් වනවා. ඒ, අද තරඟය නැරඹීමට පැමිණෙන විට කහ වර්ණයෙන් සැරසී එන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින්. අද තරඟයට කහ වර්ණයෙන් සැරසී පැමිණෙනවාද ? ප්‍රේක්ෂකයින් පළ කළේ මෙවන් අදහසක්.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුප්රි දස්කම් දැක්වූ හිටපු නායක අරවින්ද ද සිල්වා ද නෙත් නිවුස් සමඟ අදහස් පළ කළා. ඔහුද පැවසුවේ අද තරඟය නැරඹීමට තමන් ද කහ පැහැති වර්ණයකින් සැරසී ගොස් ඕස්ට්‍රේලියාවට කෘතගුණ දැක්වීමට සූදානම් බවයි.

අද තරඟය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය කහ පැහැති වර්ණයෙන් සැරසුණු ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ගියහොත් ඒ හරහා ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ මිනිසුන් කෙරෙහි යහපත් ප්‍රතිරූපයක් ඇතිවනු නොඅනුමානයි. 

වර්ගවාදී අර්බුදවලින් පීඩා විඳි දකුණු අප්‍රිකාව යළි නගා සිටුවීමට නෙල්සන් මැන්ඩෙලාද යොදා ගත්තේ රගර් ක්‍රීඩාවයි. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ කාර්යමණ්ඩලයට ද කහ පැහැති ඇඳුමෙන් සැරසී පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක්ද කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට තමන් ද පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.