Thursday, March 28, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවට




ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව තීරණ කිහිපයක් ගත් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

එම තීරණ ගෙන ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති විසින් ඉකුත් 10 වන දින කෝප් කමිටුව වෙත පැමිණ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉවත්කරගැනීම සම්බන්ධයෙන් යොමු කර ඇති ලිපිය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදීය.

එහිදී ඉකුත් 10 වන දින පැවැති කෝප් කමිටුවේ දී එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් සිදුකරන ලද ප්‍රකාශයෙහි වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමටයි කමිටුව තීරණය කර ඇත්තේ. එමෙන්ම තමන් යොමුකළ ලිපියේ සඳහන් ආකාරයට කෝප් කමිටු රැස්වීමේදී තමාට බලපෑමක් සිදු වූ බවට හා අසාධාරණ චෝදනාවක් එල්ල වූ බවට පවසා තිබීම වැරදි ප්‍රකාශයක් බව විදුලිබල මණ්ඩල හිටපු සභාපතිවරයා එහිදී පිළිගෙන තිබෙනවා.

එමෙන්ම මන්නාරම සහ පුනරින් හි ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් වන සූර්ය බල සහ සුළං පුනර්ජණනීය බලශක්තියට අදාල අදානි සමාගම සම්බන්ධ වන ව්‍යාපෘතිය ආරම්භ වූයේ කෙසේ ද යන්න පිළිබඳ කෝප් කමිටුව මෙහිදී දීර්ඝ ලෙස සොයා බලා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රජයේ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ, නිලධාරීන් ලෙස විධානයන් ආකාරයෙන් පිළිගන්නා බවයි. ඒ අනුව ඔහු එය රාජ්‍යයන් දෙකක් අතර එකඟතාවය මත වූ ව්‍යාපෘතියක් ලෙස තමන් අවබෝධ කර ගත් බවද ඔහු පවසා තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය හා ඊට අදාල සම්පූර්ණ වාර්තාව පහතින් ඇතුලත් වේ.