Thursday, April 25, 2024

General line - 0115112241

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා කණ්ඩායම් දෙකම වෙනස් වෙයි




ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පස්වන සහ අවසන් එක් දින ක්‍රිකට් තරඟය පස්වරු දෙකයි තිහට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. අද තරඟයට එක්වන කණ්ඩායම් දෙකේම වෙනස්කම් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් ආබාදයකට ලක්ව ඇති අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක ජොස් ඉංග්‍රිෂ් කණ්ඩායමට කැඳවනු ඇති. ඔහු මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගෙන නැහැ. ට්‍රැවිස් හෙඩ් යනු තුන්වන එක්දින තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී වේගවත් ලකුණු 70ක් රැස් කළ ක්‍රී්ඩකයායි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේද වනිදු හසරංග වෙනුවට නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ. ඔහු ද මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනාගෙන නැහැ. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමිරද අද තරඟයේදී විවේක ගැන්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා පිලේ පිති කරන අනු පිළිවෙලේද වෙනසක් සිදු කිරීමට අවදානය යොමු කරන බවයි වාර්තා වන්නේ. 

අද තරඟය අන් සියලු තරඟවලට වඩා රටේ දැඩි කතා බහක් මතු කර ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීම සඳහා එරට ක්‍රිකට් ඇදුමේ පැහැය වන කහ පැහැයෙන් සැරසී තරඟය නැරඹීමට එක් වීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සූදානම් වීමත් සමඟයි. ඒ, ඩොලර් අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවට සහය වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්වූ දායකත්වය හේතුවෙන්. 

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ හිටපු නායක අරවින්ද ද සිල්වා ද නෙත් නිවුස් සමඟ සංවාදයකට එක් වෙමින් පැවසුවේ ඔස්ට්‍රේලියාව එදා සිටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබාදුන් බවයි. 

අද තරඟය සම්බන්ධයෙන් 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ හිටපු නායක සනත් ජයසූරිය ද අදහස් පල කළා. 

මේ අතර ඕස්ට්‍රේලියානු නායක ඒරොන් ෆන්ච් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරද පුදුම සහගත බවයි. ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ උද්යෝගයද අති විශිෂ්ඨ බවද ඒරොන් ෆන්ච් පවසනවා.

ශ්‍රී ලංකා  - ඔස්ට්‍රේලියානු තරඟ පහකින් යුත් එක්දින තරඟාවලිය තුනට එකක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් ජය ගෙන අවසන්. තරඟ දෙකකින් යුත් ශ්‍රී ලංකා  - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය ලබන 29 වනදා ගාල්ලේදී ආරම්භ වනවා.