Saturday, April 20, 2024

General line - 0115112241

රටම බලා සිටින පෙට්‍රල් නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට




අද දිනයේ මෙරටට පැමිණෙන බව ඊයේ ප්‍රකාශයට පත් කළ පෙට්‍රල් රැගත් නෞකාව මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ නැහැ. කෙසේ වෙතත් නෙත් නිවුස් කළ විමසීමකදී බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අදාල නෞකාව මේ වන විට මෙරට මුහුදු සීමාවට පැමිණි ඇති බවයි. ඒ අනුව අද දිනයේදී නෞකාව බොහෝ දුරට මෙරටට පැමිණෙනු ඇති බවටයි විස්වාස කෙරෙන්නේ. මෙම නෞකාව මගින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හතලිස්දහසක් රැගෙන ඒමට නියමිතයි. 

දින ගණනක් තිස්සේ මෙරට පෝලිම්වල රැදී සිටින ප්‍රධාන බලාපොරොත්තුවක් වී ඇත්තේ මෙම පෙට්‍රල් නෞකාවයි. ඊයේ දිනයේ සීමිත පෙට්‍රල් තොග බෙදා හැරුණද ඇතැම් ප්‍රදේශවලට මේ දක්වා පෙට්‍රල් ලැබී නැහැ. ලැබුණු සීමිත පෙට්‍රල් තොග පවා ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට ප්‍රමාණවත් නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මේ අතර ඉන්ධන ඉල්ලා සිදු කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පංචිකාවත්ත මංසන්දියේ දැඩි රථ වාහන තදබදයක් ඇති වුණා. එමෙන්ම සෞඛ්‍ය අංශ සහ අනෙකුත් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට රෝහල ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හල වෙත රථ වාහන වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් අද පෙරවරුවේ කළුබෝවිල රෝහල ඉදිරිපිට ද දැඩි රථ වාහන තදබදයක් හට ගත්තා. ඒ අනුව කොහුවල මංසන්ධියේ සිට කළුබෝවිල මංසන්ධිය දක්වා එක් මංංතීරුවක් වසා දමා දැමීමටයි කටයුතු කර තිබුණේ. 

මේ අතර අද උදැසන ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පුද්ගලයෙක් රිය අනතුරකින් මිය ගිය පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා. ඒ, අනුරාධපුර පණ්ඩුලගම පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදීයි. අනතුරින් මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීම සදහා දින කිහිපයක සිට මෙම පිරවුම්හල අසල පෝලිමේ සිටි ඇති අතර අද උදැසන ඒ අසල මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයකට යටවිමෙන් මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.