Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් වගකීම් විරහිත පිතිකරණයක : ඔස්ට්‍රේලියාවට ලකුණු 161ක ඉලක්කයක්




මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග දැන් පැවැත්වෙන 05 වන එක්දින තරගයේදී  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 43.1 කදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කර ගනු ලැබුවා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වුවත් තරගයේ පන්දු ඕවර 4.3ක් යවා අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඉන් පසුව පිටියට පිවිසුණු ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ පරාද වූ අතර තරගයේ පන්දු ඕවර 16ක් අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62 කට කඩුලු 7ක් දැවී ගොස් තිබුණා.

ඉන් පසුව චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩර්සේ විසින් කඩා වැටුණු ශ්‍රී ලංකා පිලට යම් ශක්තියක් ගෙන දෙමින් 08 වන කඩුල්ල සඳහා ලකුණු 23ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එහිදී ලකුණු 04ක් රැස් කරමින් සිය අන්තය ආරක්ෂා කර ගනිමින් සිටි වැන්ඩර්සේ දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත්විය.

ඉන් පසුව චාමික කරුණාරත්න සමග පිටියට එක්වූ නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් 0 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බඳතාවක් පැවත්වූ අතර එහිදී ඔහු ලකුණු 15ක් රැස් කර ගනිමින් සිටියදී කැමරන් ග්‍රීන් යැවු පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියා.

ශ්‍රී ලංකා පිල ඉතා අසිරූ අඩියකට වැටී සිටියදී සිය 18 වන එක්දින තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුවා. 

ශ්‍රී ලංකා පිලේ අවසන් පිතිකරුවා ලෙස චාමික කරුණාරත්න දැවී යද්දී ඔහු පන්දු 75ක් තුලදී ලකුණු 75ක් රැස් කර ගනු ලැබූ අතර ඊට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් දෙකක් ද අන්තර්ගත වුණා.