Thursday, April 25, 2024

General line - 0115112241

සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා ඉන්ධන දිනය ගැනත් ගැටළු රැසක් : ඉන්ධන නැතිව බවුසර් 400 න් 300 ක් මග නවතී




ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය මේවනවිට හතරෙන් තුනකින් අඩුවී ඇතැයි ටැංකි රථ රියදුරන් පවසනවා. ඔවුන් කියා සිටියේ සාමාන්‍ය දිනකදී ඉන්ධන බවුසර් 400 ත් 450 ත් අතර සංඛ්‍යාවක් ඉන්ධන බෙදාහැරීමට එක්වන බවයි. එහෙත් මේවනවිට ඉන්ධන බෙදාහැරීමට එක්ව සිටින්නේ බවුසර් රථ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් බවයි සමස්ථ ලංකා පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ.

මේ අතර දින කිහිපයක් පෝළිම්වල රැඳී සිටින ජනතාවගේ බලාපොරොත්තු සුන්කරමින් මෙරටට පැමිණෙන බවට ප්‍රකාශ කර තිබූ මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් පෙට්‍රල් නෞකාව ඊයේ පැමිණියේ නැහැ. එම නෞකාව පැමිණෙන දිනයක් ද මේ දක්වා බලධාරීන් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ. එවන් පසුබිමක වුවද ජනතාව තවදුරටත් ඉන්ධන ලබාගැනීම සඳහා දිවා රෑ නොබලා පෝළිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකියි. 

මේ අතර සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා රටපුරා ඉන්ධන පිරවුම්හල් 85ක් වෙන් කර ඇති බවත්, ඒ සඳහා පෙට්‍රල් ලීටර් 6,600 සහ ඩීසල් ලීටර් 6, 600 බැගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව බෙදා දී ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවසුවා. එහෙත් සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදා දිනවලදී ඉන්ධන ලබාදීමේ වැඩසටහන ඊයේ සාර්ථක නොවූ බවයි සෞඛ්‍ය සේවකයින් පවසන්නේ. 

මේ, ඉන්ධන ලබාගැනීමට පෝළිමේ සිට දැඩි අපහසුතාවට පත්වූ නම හෙළි කිරීමට අකමැති වූ වෛද්‍යවරියක්.

මෙම වෛද්‍යවරිය පැවසුවේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම අසාර්ථක බවයි. 

කෙසේවෙතත් බොහෝ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුවුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්වල කටයුතුවලට එල්ල වූයේ දැඩි බලපෑමක්.