Friday, April 19, 2024

General line - 0115112241

සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස් මුලස්ථානයෙන් විශේෂ දැනුම් දීමක්




පිරවුම්හල්වල ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස සියලු පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී තිබෙනවා. 

පිරවුම්හල්වල ඉන්ධන අවසන් වීමෙන් අනතුරුව පෝලිම්වල රැදී සිටින පුද්ගලයින් ටැංකි විවෘත කර පෙන්වන ලෙසට පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අවස්ථා නිරීක්ෂණය වූ බවයි පොලීසිය පවසන්නේ. 

එවැනි අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධාරීන් ඊට මැදිහත්වන ආකාරයක්ද දක්නට ලැබුණා. එලෙස ටැංකි විවෘත කිරීමට යාමේදී යම් කඩාකප්පල්කාරී පුද්ගලයකු විසින් අනතුරු දායක ක්‍රියාවක්  සිදු කළහොත් හෝ අත්වැරදීමකින් හෝ යම් සිදු වීමක් සිදු වුවහොත් ඊට පොලිස් නිලධාරීන් වගකිව යුතු වනවා. 

එමෙන්ම ඉන්ධන ටැංකි විවෘත කිරීම පොලිස් නිලධාරීන්ගේ කාර්ය භාරයක් නොවන බවත් එය සිදු කළ යුත්තේ අවසරලත් තැනැත්තන් පමණක් බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙනවා. 

මේ හේතුවෙන් ඉන්ධනහල්වල ආරක්ෂාවට අනියුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරියකුගෙන් හෝ පිරවුම්හල්වල ඉන්ධන ගබඩා ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් සිදු නොකරන ලෙසටද පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා.