Friday, March 29, 2024

General line - 0115112241

බස් ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්




ඉන්ධන මිල ඉහළ යාමක් සමග බස් ගාස්තු සංශෝධනය විය යුතු බව බස් හිමියන් පවසනවා. රට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල වරින් වර ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය කඩා වැටීමට ලක්වෙමින් ඇති බවයි බස් හිමියන්ගේ සංගම් චෝදනා කරන්නේ. 

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනයේ ධාවනය වන්නේ පෞද්ගලික බස්රථ වලින් සියයට 10 ක පමණ ප්‍රමාණයක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. 

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි මාසය ආරම්භයේදී සිදු වනවා. එවන් පසුබිමක් තුළ මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හරහා පෞද්ගලික බස් හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ. ඒ අනුව ජූලි මස 01 වනදා තෙක් පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන පෞද්ගලික බස්රථ සඳහා පැරණි මිලට ඩීසල් ලබාදෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලීමක් කළා. 

කෙසේවෙතත් සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ අවම වශයෙන් සියයට 35 ක බස් ගාස්තු සංශෝධනයක් හෝ සිදුවිය යුතු බවයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් පැවසුවේ.